The-drug-suspect-arrested-in-Nawalapitiya-was-also-at-the-protest-site

ගාලුමුව‍ෙදාර ගෝඨාගෝගම රජයට එරෙහි අරගලයේ යෙදී සිටි ‘චිලි’ නමැත්තකු මත්කුඩුද සමඟ නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
‘චිලි’ නමැත්තා සමඟ තවත් මත්කුඩු ජාවාරමේ යෙදෙන පුද්ගලයන් 13 දෙනකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසියේ පොලිස් පරීක්ෂක සම්පත් මහතා කියයි. ඒ අතර මහාධිකරණ නඩු 4කට සම්බන්ධ පුද්ගලයන්ද වෙතැයි පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් ‘චිලි’ නමැත්තා නාවලපිටිය පොලිසියෙන් අල්ලාගෙන ඇත්තේ මත්කුඩු මිලිග්‍රෑම් 190ක් සමඟය. මොහු නාවලපිටිය නගරයේ මත්කුඩු විකිණීමේ යෙදෙන බව නාවලපිටිය පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් චිලි නාවලපිටිය නගරයට නුදුරු ජයසුන්දර ගම්මානයේ පදිංචිකරුවකු වන අතර මොහු මීට කලින්ද හෙරොයින් මිලිග්‍රෑම් 20ක් විකුණා ඇති බවට තොරතුරු ලැබී තිබූ බවද නාවලපිටිය පොලිසිය කියයි.

මත්කුඩු සම්බන්ධයෙන් කළ වැටලීමේදී සිදුකරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු පොලිසිය අනාවරණය කරගෙන ඇත්තේ චිලි නමැති මෙම සැකකරු ගාලුමුව‍ෙදාර ගෝඨාගෝගම අරගල භූමියට ගොස් මත්කුඩු ජාවාරමේ නොයෙදෙන්නෙක් ලෙස රඟපාමින් ජාතික කොඩියද අතැතිව විරෝධතාවයන්වල යෙදී ඇති බවය.



අත්අඩංගුවට ගත් සෙසු පුද්ගලයන් 12 දෙනාද අතර තවත් අරගලකරුවන් ඇත්දැයි ඇති වූ සැකය මත විමර්ශන සිදු කෙරේ. නාවලපිටිය නගරයම මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරමේ කේන්ද්‍රස්ථානයක් වී ඇති බවත් මේ නිසා නාවලපිටිය හා ඒ අවට බොහෝ තරුණ පිරිස් මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී සිටින බවත් පොලිසිය හෙළිකර ගෙන තිබේ.

කොළඹ සිට ගෙන එනු ලබන හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය නාවලපිටිය පොලිස් වසම තුළ හොර රහසේ විකිණීම සම්බන්ධයෙන් ලැබෙන තොරතුරු මත නාවලපිටිය සහකාර පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත මත්ද්‍රව්‍ය විකිණීමේ සහ මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් කොටු කර ගැනීම සඳහා දිගින් දිගටම වැටලීම් සිදුකිරීම අරඹා තිබේ.

ඉකුත් 4 වැනිදා නාවලපිටිය නගරය පුරා කරන අද වැටලීම්වලදී චිලි ඇතුළු 13 දෙනකු කොටු වූ අතර ඔවුන් සන්තකයේ තිබූ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. චිලී ඇතුළු සැකකරුවන් නාවලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව නාවලපිටිය පොලිසිය සඳහන් කරයි.