Untold-stories-behind-the-killings-that-take-place-everywhere

විදෙස්ගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොලිසියෙන් ඉවත් වූ නිලධාරීන්ගේ සහාය ඇතිව රටේ තැනින් තැන මිනී මරන්නට පටන් ගෙන ඇති බව පසුගිය දිනවල වූ සිදුවීම් නිසා පෙනෙන්නට තිබේ.  ජාත්‍යන්තර මුහුද හරහා කෝටි ගණනක් වටිනා කිලෝ ග්‍රෑම් සිය ගණනක මත්කුඩු ඇතැම් අවස්ථාවල මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, බුද්ධි අංශ හා නාවික හමුදාව සිදුකරන මෙහෙයුම් මගින් අත්අඩංගුවට ගැනුනත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නොනැවතී සාර්ථකව සිදුවන්නේ කල් ඇතිව තොරතුරු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතට පත්වන නිසාය. ගතවූ සතියේදී පමණක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කොන්ත්‍රාත් නිසා මහ මගදී පුද්ගලයන් සිව් දෙනෙකු ඝාතනයට ලක්වූයේ දෙනෝදහක් භීතියට පත් කරමින්ය.

මෙහි ආසන්නම ඝාතනය සිදුවූයේ පෙරේදා (04 වැනිදා) ය. ඒ අහංගම දික්කුඹුර ප්‍රදේශයේ විදුහලක් අසළදීය. දික්වැල්ල, දඹගස්ආර පදිංචිකරුවකු වන කසුන් චාමර නමැති 26 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව තිබුණු අතර ඔහු දෙස් විදෙස් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ උවමනා මත මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන අයකු ලෙස හඳුනාගෙන ඇත.



දික්වැල්ල, වලස්ගල පදිංචි කසුන් චාමර පෙරේදා මිතුරකු සමගින් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නන්නාඳුනන පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා පලා ගොස් තිබිණි. වෙඩි පහරින් බරපතළ ලෙස තුවාල ලැබූ පුද්ගලයා වැලිගම රෝහලට ගෙනයන විටත් මියගොස් සිට ඇත. ඔහු සමග සිටි මිතුරාට තුවාල සිදුව නැති බව පොලිසිය පවසයි.

ඝාතනයට ලක්වු පුද්ගලයා මීට මාස කිහිපයකට ඉහතදී ගෑස් සිලින්ඩර් කිහිපයක සූක්ෂම ලෙස හෙරොයින් සඟවා ප්‍රවාහනය කළ සැකකරුය. එයින් යම් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් මොහු විසින් වංචනිකව ලබාගෙන ඇති බවට තොරතුරු ලැබී ඇත. ඒවා වෙනත් අයෙකු වෙත ගෙනයන අවස්ථාවේදී මෙම වෙඩි තැබිම සිදුකර ඇතැයි වාර්තා වී තිබේ. විදෙස්ගත මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන හරක් කටා නැමැත්තා මෙම ඝාතනය සිදුකරවා ඇතැයිද තොරතුරු ලැබී ඇත. ලැබී ඇති තොරතුරුද පාදක කරගනිමින් අහංගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

පානදුර, නිර්මල මාවතේ දී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයිද පානදුර දකුණ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වාද්දුව ප්‍රදේශයේ පදිංචි රන්දික ද සිල්වා නැමති අයෙකි. විදෙස්ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පානදුර කුඩු සලිදුගේ ගෝලයෙකුව සිට ඇති මොහු කෝටි ගණනක මත්කුඩු ප්‍රමාණයක් වංචා කර වෙනත් අයකුට අලෙවි කිරීමේ සිද්ධියක් ඝාතනයට හේතුවී ඇති බව පැවසේ. යතුරු පැදියකින් ගමන් කර සිටි රන්දිකට තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර තිබුණ අතර සැකකරුවන් සොයා පානදුර දකුණ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද පින්තු ඇතුළු නිලධාරීහු පරීක්ෂණ සිදුකරති.

මේ අතර බේරුවල, මොරගොල්ල, මරදාන පාරේදී පසුගිය 03 වැනිදා සිදුකළ වෙඩි තැබීමකින් තැඹිලි එක් රැස් කරන පුද්ගලයෙකු ඝාතනයට ලක්ව තිබිණි. මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ ගයාන් චමින්ද ප්‍රනාන්දු නැමැති බේරුවල, මරදාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි. මොහු මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ඇතුළු ආරක්ෂක අංශ වෙත තොරතුරු ලබාදෙන පුද්ගලයෙකි. මොහු බේරුවල ජනක නම් පුද්ගලයාගේ මස්සිනා වේ. සිය මස්සිනාගේ ඝාතනයෙන් පසු බේරුවල ජනක විශේෂ පොලිස් ඒකකයක් වෙත ස්වයං පාපෝච්චාරණයක් සිදුකර තිබුණි. එම පාපෝච්චාරණයෙන් පසුගියදා මහත් ආන්දෝලනයට තුඩු දුන් කොළඹ බැස්ටියන් මාවතේ දෙනෝදහක් ඉදිරියේ මහ දවල් සිදු වූ වෙඩිතැබීමේ සුලමුලද අනාවරණය වී තිබිණි.



කොළඹ, පිටකොටුව, බැස්ටියන් මාවත ප්‍රධාන බස් නැවතුම්පල අසළදී පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කරගනිමින් වෙඩි තැබීමක් සිදුව තිබුණේ පසුගිය 30 වැනිදාය. අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසළ සිට මොවුන්ව ලුහුබැද යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය, අශ්වාරෝහක කොට්ඨාසය, රථවාහන මූලස්ථානය, කොළඹ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය, සී.සී.ටී.වී. කැමරා ඒකකය යන පොලිස් ඒකක ආසන්නයේදී මහ දවල් මේ අපරාධය සිදුකර පලාගොස් තිබිණි. ඔවුන් පලාගොස් තිබුණේ පිටකොටුව, කොටුව හා මරදාන පොලිස් බල ප්‍රදේශ ඕල්කට් මාවත, යෝර්ක් වීදිය, ඩී.ආර්. විජේවර්ධන මාවත, ගාමිණි හෝල් ආදී ස්ථානද පසුකරමින්ය. වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙකු මිය ගියේය. තවත් පුද්ගලයෙකු තුවාල ලැබීය. තවත් අයෙකු ආවරණය වී දිවි බේරාගත්තේය. මේ අපරාධයට අදාළ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයෙන් සිදුකරයි. අපරාධයට අදාළ තොරතුරු රැසක්ම මේ වනවිට අනාවරණය වී ඇත.

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි සුපිරි පැලැන්තියේ අවන්හලකට පහරදී අලාභ හානි කිරීමේ සිද්ධියකට අදාළ නඩුවක් කුරුඳුවත්ත පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබුණේ 2017 වසරේදීය. යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ වසර ගණනාවක් සේවය කර ඉන් ඉවත් වූ සිව් දෙනෙකුට එරෙහිව විභාග වූ මෙම නඩුව අවසන් වරට විභාගයට ගැණුනේ පසුගිය 30 වැනිදාය. නන්නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනාගේ ඉලක්කය බවට පත්වන්නේ මේ සිව් දෙනාගෙන් තිදෙනෙකි.

කොළඹ, බැස්ටියන් මාවත බස් නැවතුම්පල ඉදිරියේ 30 වැනිදා සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් තොරතුරු රැසක් කරලියට පැමිණියේ අලුත්කඩේ මහාධිකරණයේ එදිනම විභාගයට ගත් තවත් නඩුවක තොරතුරු එළියට ඒමෙන් අනතුරුවය. එම නඩුවේ රජයේ සාක්කිකරුවන් දෙදෙනෙකු එදින පැමිණ සිටියේය. ඒ බේරුවල ජනක සහ ඔහුගේ මස්සිනා කෙනෙකි. ඔවුන් දෙදෙනා එදින නඩු විභාගය අවසන් වී නිවස බලා පිටත්වී තිබුණි. ඒ පිළිබඳ යමෙකු දුරකතන ඇමතුමක් ලබාදී තිබුණේ ගිනි අවි සහිතව අධිකරණ සංකීර්ණය ආසන්නයේ රැදී සිටි පුද්ගලයන් දෙදෙනෙකු වෙතය. එමගින් කියවී ඇත්තේ මෙම පුද්ගලයන් දෙදෙනාට ජනක සහ ඔහුගේ මස්සිනා ඉලක්ක කරගෙන වෙඩි තබා ඝාතනය කරන ලෙසය.

බැස්ටියන් මාවතට පැමිණි යතුරු පැදිකරු සහ පසුපැදිකරු ඉලක්කය ගත්තේය. ඔවුන් බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ ගම්බිම් බලා යාමට සිටි පුද්ගලයන් තිදෙනෙකු ඉලක්ක කරමින් වෙඩි තැබුවේ ඔවුන් හැඳ සිටි ඇඳුම් හා හැඩරුව ඝාතනය කරන්නැයි කියූ දෙදෙනාට සමාන නිසාය. දෙනෝ දාහක් භීතියට පත් කරමින් ඒ වෙඩි තැබීම සිදුවන විටත් වෙඩික්කරුවන්ට සිය ඉලක්කය වැරදී ඇති බව නොතේරිණි.

මෙම වෙඩි තැබුමෙන් ඝාතනයට ලක්වූයේ අනුරාධපුර මහඉලුප්පලම පදිංචි විරාජ් ලක්ෂිත යන යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සිට ඉන් ඉවත් වූ පුද්ගලයෙකි. එම රෙජිමේන්තුවේම මොහු සමගින් සේවය කර ඔහු සමගින්ම හමුදාවෙන් ඉවත් වූ නාකියාදෙණියේ පදිංචි ප්‍රදීප් සඳමාල් වෙඩි පහරින් තුවාල ලැබුවේය. ඒ දෙදෙනාගේම තවත් මිතුරෙකු වෙඩි පහරින් ආවරණය වී දිවි බේරා ගත්තේය.

මේ ඝාතනයෙන් දින කිහිපයකට පසු බේරුවල ජනක නැමැත්තා විශේෂ පොලිස් කණ්ඩායමක් ඉදිරියේ ස්වයං පාපෝච්චාරණයක් කළේය. එහි මූලිකම මාතෘකාව වී ඇත්තේ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් තුන්සියක කතාවකි. එහි කතානායකයන් ලෙස චරිත රැසක් පිළිබඳ තොරුතුරු අනාවරණය වී තිබිණි. ඒ විදෙස්ගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු වන ගනේමුල්ලේ සංජීව හා බටුවත්තේ චාමර යන දෙදෙනා ගැනය.



ඔවුන් දෙදෙනා ලංකාවට හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් ගෙන ඒමට සැලසුම් කර තිබුණි. එම මත්ද්‍රව්‍ය තොගය බාරදිය යුතුව තිබුනේ පෑලියගොඩ ඉසුරුටය. ඔහුද බන්ධනාගාර ගතව සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් සමගින් සම්බන්ධකම් පවත්වන අයෙකි. මුහුදු මාර්ගයෙන් ගෙන එන කිලෝ 300 හෙරොයින් තොගය තමන් වෙත ගෙන ඒම සඳහා ඉසුරු කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ බේරුවල ජනකටය. ඒ රුපියල් ලක්ෂ 30ක කොන්ත්‍රාත්තුවකටය.

රුපියල් ලක්ෂ 30න් ලක්ෂ 04ක් තමන් සතුව තබාගත් ජනක ව්‍යාපාරික මුස්ලිම් ජාතිකයෙකුට රුපියල් ලක්ෂ 26ක් ලබා දී තිබෙන බවටද තොරතුරු අනාවරණය වී ඇත. එහෙත් ඔවුන් දෙදෙනාම නොදන්නා යමක් තිරය පිටුපස සිදුවෙමින් තිබුණේය. ඒ ජාත්‍යන්තර මුහුදේ සිට ප්‍රවාහනය කිරීමට යන මෙම මත්‍ද්‍රව්‍ය තොගය පිළිබඳ කළ දිනම බෝට්ටුවක් දියඹට යැවූ අතර ආරක්ෂක අංශ ඒ වනවිටත් ඉරාන ජාතිකයන් පිරිසක් සමගින් හෙරොයින් කිලෝග්‍රෑම් 240ක් අත්අඩංගුවට ගෙන තිබිණි.

මෙය දැනගත් ගනේමුල්ලේ සංජීව හා බටුවත්තේ චාමර, බේරුවල ජනක සහ ඔහුගේ මස්සිනාට මරණ වරෙන්තු නිකුත් කරන්නට වූයේ ඔවුන් සිතාමතාම පොලිසියට මේ පිළිබඳ ඔත්තුව ලබාදී පාවාදුන් බවට විශ්වාස කිරීම නිසාය. ඔවුන් සිතා සිටියේ මේ පාවාදීම පසුපස ප්‍රධානියා ලෙස කටයුතු කළේ බේරුවල ජනක බවය. පසුගියදා බේරුවල, මොරගොල්ල, මරදාන පාරේ ලොරි රථයකින් ගමන් කර සිටි ජනකගේ මස්සිනා ඝාතනය වන්නේ මෙහි ප්‍රතිඵලයක් ලෙසය.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දැනට ඇප මත නිදහස්ව සිටින පොලිස් නිලධාරියෙකුටද බේරුවල ජනක සහ ඔහුගේ මස්සිනා ඝාතනය කිරීමේ උවමනාවක් තිබී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එයට හේතු වී ඇත්තේ ඔවුන් අවසන් ගමන් ගියහොත් තමාට එල්ල වී ඇති චෝදනාවලින් නිදහස් වීමට හැකි බව සිතා සිටීමය. පෑලියගොඩ ඉසුරුද මෙම පොලිස් නිලධාරියාගේ සමීපතමයෙකි.මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගේ දුරකතන වාර්තා පරීක්ෂා කිරීමේදී ඔවුන් සමග මෙම පොලිස් නිලධාරියා සමීපව සම්බන්ධකම් පවත්වා ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පාතාල සාමාජිකයන් තවත් මිනිස් ජීවිත බිලිගැනීමට සැලසුම් කරමින් සිටින බව විමර්ශන කණ්ඩායම් අනාවරණය කරගෙන ඇත. මොවුන් සතුව ගිනි අවි තිබේ. එහෙත් ඒ සම්බන්ධව ක්‍රියාකිරීමට ආරක්ෂක අංශ වලට නොහැකි වි ඇත්තේ ඇතැම් පොලිස් නිලධාරීන්ගේද සහාය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ලැබෙන නිසාය. විමර්ශන සිදුකරන නිලධාරීන් ඒ නිසා බොහෝ අපහසුතාවලට මුහුණ දී ඇත.

(හේමන්ත ලියණපතිරණ හා එෆ්. අස්ලම් - අරුණ)