akuressa-murder

අකුරැස්ස, තිබ්බටුවාව ප්‍රදේශයේ හදිහූනියම් සම්බන්ධ ප්‍රසිද්ධ කපු මහතෙකු  ඔහුගේ අසල්වාසී නිවසේ වාසය කරන තරුණයෙකුගේ කඩු පහරකින් ඝාතනයවී ඇත. කෘෘර ඝාතනයෙන් පසු කපුවාගේ හිස ගෙනගොස් නිල්වලා ගඟට විසිකර දමා ඇත.
වාර්තාවන අකාරයට සිද්ධිය මෙසේය.
හදිහූනියම් සම්බන්ධ ප්‍රකට මෙකී කපු මහතා ඝාතන සිද්ධියට පෙර දින රාත්‍රියේ මීටර 50 ක් පමණ දුරින් පිහිටි අසල්වාසී නිවසට අයත් වත්තේ පැරණි පවුල් සොහොනක් ආසන්නයේ කිසියම් සැක සහිත හැසිරීමක නිරතවෙමින් සිට ඇති අතර මේ බව අසල්වාසී නිවසේ තරුණයාත් ඔහුගේ මවත් පියාත් දැක ඇත.
 70 හැවිරිදි වියේ පසුවූ කකුලක් අහිමි ඇවිදීමේ දුර්වලතා තිබූ ආබාධිත කපු මහතා මෙම අසල්වාසීන් සමග කලෙක සිට ආරෝවකින් පසුව ඇති අතර මෙම ‘සොහොන් ක්‍රියාකාරකම‘ නිසා අසල්වාසී නිවසේ අය මෙය ඔහුගේ තවත් හදි හූනියමක් ලෙස ‍තේරුම්ගෙන තිබේ.

කපුමහතාගේ නිවසේ කුඩා දේවාලයක්ද පවතින අතර ඔහු එක් එක් අය නැතිබංගස්තාන කරන බව පවසමින් හූනියම් වැඩ කරන්නට ප්‍රසිද්ධ අයෙකි.


වයස 24 ක්වූ අසල්වාසී තරුණයා 26 වනදා මධ්‍යම රාත්‍රියේ බල්ලන් බුරන හඩ ඇසී  මව, පියා සමග දොර ඇරගෙන පැමිණ බැලීමේ දී කපුමහතා සැකකරුගේ වත්තේ මිත්තනියගේ සොහොන අසල රැඳී සිට පලායන අයුරු දැක ඇති අතර පසුදා උදේ වනතුරු සිටි තරුණයා කඩුවක්ද රැගෙන එම නිවසට ගොස් හූනියමක් කළා නේදැයි විමසා ඇත.

රාත්‍රි කාලයේ  ඉඩමට ගියේ එවැන්නකට නොවන බව කපු මහතා තරයේ කියා ඇත. මෙම අවස්ථාවේ රන්ඩුවට නොයන ලෙස තරුණයාගේ මව සහ පියා ඇවිටිලි කර ඇති අතර කපුමහතාගේ බිරිඳ හා දියණියන් එක්ව සිද්ධිය සමථයට පත්කරන්නට උත්සාහ දරා ඇත.
මුල් අවස්ථාවේ සාමදානවී නිවසට ගියත් පසුව නිවසට ගිය තරුණයා පෙරවරු 10.30 පමණ යළිත් කඩුවක් රැගෙන කපුමහතාගේ නිවසේ පිටුපස දොර කඩාගෙන නිවසට පැමිණ කපු මහතා සොයාගෙන ගොස් කඩුවෙන් පහරපිට පහර ගසා ඔහුව කුරිරු ලෙස මරාදමා තිබේ.
ආරවුල වැළැක්වීමට ගිය කපුමහතාගේ බිරිඳ ට හා දියණියට ද තරුණයා කඩුවෙන් කොටා තුවාල සිදුකර ඇත.


 කපු මහතාගේ හිස කඳින් වෙන් කළ සැකකරු හිස කොටස නිවසින් පිටතට ගෙන ගොස්  නිල්වලා ගඟට විසිකරන්නට ඇතැයි පොලිසිය මේවනවිට සැකකරයි. නිවසේ සිට මීටර් 350 ක පමණ දුරින් නිල්වලා ගඟ පිහිටා ඇති  අතර ගං ඉවුර හා ඒ ආසන්නයේ ලේ පැල්ලම් රැසක් හමුවී තිබේ.
අනතුරුව ඔහු ප්‍රදේශයේ පලාගොස් ඇති බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්ව ඇත්තේ තලගස්ස, වලකඩවත්ත  ප්‍රදේශයේ පදිංචි වෙල්ලාර තන්ත්‍රින්ගේ සුමනපාල නමැති දෙදරු පියෙකි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා මෑතක් වන තෙක් ම ගොඩපිටිය විහාරස්ථානයේ දේවාලයේ කපුවෙකු ලෙස සේවය කර ඇති අතර රෝගාතුරව සිටි ඔහුගේ එක් පාදයක් කපා ඇති බැවින් පසුගිය කාලයේ නිවසේ සිට ශාස්ත්‍ර කීම හදිහූනියම් වැඩ සිදු කර ඇත.
ඔහුගේ බිරිඳ වන 64 හැවිරිදි කාන්තාව සහ 40 හැවිරිදි දියණිය ද කැපුම් තුවාල ලබා මාතර රෝහලට ඇතුළත් කර ඇති බවත්, ඔවුන් ශල්‍යකර්මවලට ලක්කර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ඝාතනය සිදුකළ තරුණයා වහල අලුත්වැඩියා කරන පිලි බාස් කෙනෙකි. අවිවාහක සැකකරුගේ නිවසේ පදිංචිව සිට ඇත්තේ ඔහුගේ මව හා පියා පමණි. සැකකරු  කාන්තාවන්ට හිංසා කිරිම ඇතුළු අපරාධවලට රැසකට  මින්පෙර සම්බන්ධව සිටි පුද්ගලයකු බව පොලිසිය කියයි.
අසල්වැසියාගේ ගෙළ කපා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ප්‍රධාන සැකකරුගේ මව සහ පියා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් අද (ජූනි 28) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. පළාගිය ඝාතකයා සොයන්නටත් කපුමහතාගේ හිස සොයන්නටත් පොලිසිය හා නාවික හමුදාව එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරම්භ කර ඇත.


akuressa-murder