අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරිමේ ලොව ජනප්‍රිය සමාගමක් වන එක්සත් ජනපදයේ ඇමසෝන් (Amazon) සමාගම ඩ්‍රෝන යානා යොදා ගනිමින් එරට පාරිභෝගිකයන් වෙත භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ නියමු ව්‍යාපෘතියක් ඇරඹූ බව පවසයි.  Amazon Prime Air ලෙස හඳුන්වා දී ඇති මෙම නවතම සේවාව පසුගිය සඳුදා දිනයේදී එක්සත් ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොකේෆෝර්ඩ් නගරයේ පාරිභෝගිකයන් සදහා ලබාදී තිබේ. මෙහිදී එක් ඩ්‍රෝන යානාවක් මගින් රාත්තල් පහකට වඩා අඩු බරක් සහිත පාර්සලක් රැගෙන යාමේ හැකියාව පවතින බව ඇමසෝන් සමාගම පවසයි.

එසේම අදාළ පාර්සලය පාරිභෝගිකයා වෙත ළඟාවූ අවස්ථාවේදී එය ඔහුගේ හෝ ඇයගේ නිවසේ පිටුපස කොටස වෙත ඉතාමත් සුරක්ෂිතව ගොඩබැස්සවීමටත්, වඩාත් පහසුවෙන් එය ලබාගැනීමට හැකියාව ලැබෙන ලෙසත් කටයුතු කරන බවත් ඇමසෝන් සමාගම මාධ්‍ය වෙත සදහන් කර තිබේ.  ඇමසෝන් සමාගම මෙලෙස සිය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ඩ්‍රෝන යානා යොදාගැනීමේ පළමු වැනි උත්සාහය ආරමිභකළේ 2015 වසරේදීය. එහෙත් ඒ සඳහා වන අනුමැතිය ලබාගැනීමට එම සමාගමට වසර 5ක් ගතවී තිබේ. වාර්තා සදහන් කරන ආකාරයට මෙම කාලසීමාව තුළදී භාණ්ඩ ප්‍රවාහනයට යොදාගත් ඩ්‍රෝන යානා 08ක් කඩා වැටුණු අතර, ඉන් ඔරිගොන් ප්‍රාන්තයේදී කඩාවැටුණු ඩ්‍රෝන යානාවක් හේතුවෙන් ලදු කැලප ගිනි ගැනීමක්ද සිදුබව වාර්තා වෙයි.