basil-resign-rumours

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිහිටවීමට මුල්වූ එහි ජාතික සංවිධායක, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තුවෙන් ලැබුණ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී මේ සතිය අගදී ඇමරිකාව බලා පිටත් වීමට නියමිත බවට දේශපාලන ආරංචිමාර්ග වාර්තා කර තිබේ.


මෙම ආරංචිය පැතිරෙන්නේ ඔහුට සමීප අයගෙන්ම වන අතර මීට වසරකට පමණ ඉහත ඔහු විදේශගතව සිට යළි පැමිනි පසු මුදල් ඇමති ධූරයට පැමිණෙන බවටද මේ ආකාරයෙන්ම ආ ආරංචිය පසුව සත්‍ය විය.
වාර්තාවන ආකාරයට හෙට (09) දිනයේදී ඒ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙනු ඇති බව කියැවේ.
 ඉල්ලා අස්වීමෙන් අනතුරුව ඒ මහතා විසින් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා තත්වය පැහැදිලි කිරීමට ද නියමිත බවටද ආරංචිමාර්ග වාර්තාකර ඇත. මේ සතිය අගදී ඒ මහතා කෙටි කලකට ඇමරිකාව බලා පිටත්ව යනු ඇති අතර නැවත පැමිණ පූර්ණ කාලීනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිසංවිධාන කටයුතුවල නිරත වන බව පක්ෂ අභ්‍යන්තරයෙන් ආරංචි වෙයි.


ඔහුගේ සමුගැනීම සමගම 21 වන සංශෝධනය සම්බන්ධයෙන් පවතින පක්ෂ ඇතුලේ පිල් බෙදීම විසඳෙනු ඇති බවත් සංශෝධනය සිදුවනු ඇති බවත් කියැවේ.
බැසිල්ගේ සමීපතමයන් මෙය තාවකාලික පසුබැසීමක් ලෙස හඳුන්වා ඇති අතර ඉදිරියේදී ඔහු යලිත් වෙනත් අයුරකින් ලංකාවේ දේශපාලනයට සම්බන්ධවන බවද වාර්තා කර තිබේ.
මේ වනවිට විමල් වාසු ගම්මංපිල ප්‍රමුඛ 10 දෙනාගේ කන්ඩායමේ ප්‍රමුඛ කාර්යය බවට බැසිල් ඉවත් කිරීම පෙන්නුම් කර තිබෙන අතර ශ්‍රීලනිපයද බැසිල්ගේ කන්ඩායමේ මතය සමග නොසිටී.
අර්බුදය තුළ තවදුරටත් රාජපක්ෂවරුන් වෙනුවෙන් සටන් කිරීම නොගැළපෙන්නක් බව ඒත්තු යාම නිසා මෙම තාවකාලික පසුබැස්ම ඇති කරගෙන තිබෙන බවද දේශපාලන ආරංචි වාර්තා කරයි.