Surprised-to-hear-that-masks-are-no-longer-needed-Specialist-Medical-Association

ඊයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දන්වා සිටි පරිදි අද සිට මුහුණු ආවරණ අනිවාර්ය නැති නියමය අසා පුදුමයට පත්වන බවත් අර්බුදය අවස්ථාවේ සෞඛ්‍ය වියදම්ද කපාහැර ඇති පසුබිමක සෞඛ්‍ය පිරිහීමට හා අනවශ්‍ය රෝග පැතිරීමෙන් ආරක්ෂාවීම අවශ්‍ය බවත් එබැවින් නීතිය පැත්තක තබා තමන්ගේ ආරක්ෂාව සලසා ගන්නා ලෙසත් විශේෂඥ වෛද්‍ය සංගමය දැනුම්දීමක් කර තිබේ.


අදාළ නිවේදනය මෙසේය.

2022 ජූනි 10 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි ගෘහස්ථව සහ එළිමහනේ මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හදිසි නිවේදනය ඇසීමෙන්  විශේෂඥ වෛද්‍ය සංගමයේ අපි පුදුමයට පත් විමු.

එහි අනෙක් පුදුමයට කරුණ නම්, සෞඛ්‍ය සේවකයින් සඳහා මෙන්ම සාමාන්‍ය ජනතාව සඳහා රෝහල් සැකසුම් තුළ මුහුණු ආවරණ පැළඳීම අවශ්‍ය දැයි මෙම නිවේදනයේ සඳහන් කර නොමැතිවීමයි.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් හේතුවෙන් මේ මොහොතේ ශ්‍රී ලංකාව ඖෂධ සහ අනෙකුත් සෞඛ්‍ය සේවා සම්බන්ධ ද්‍රව්‍යවල උග්‍ර හිඟයකට මුහුණ දී සිටින බව නොරහසකි. සම්ප්‍රේෂණය වන ශ්වසන ආසාදන සහ වෙනත් ආසාදන අපේ රටේ මිනිසුන්ට සෞඛ්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට සිදුවන වඩාත් පොදු සහ වැදගත් හේතු අතර බව සාමාන්‍ය දැනුමයි. මුඛ ආවරණ පැළඳීමට එරෙහි මෙම නිවේදනය නුසුදුසු සහ අකාලික බව පෙනේ.



නීතිය කෙසේ පැවතියත් විශේෂයෙන් ගෘහස්ථ රැස්වීම් වලදී මුහුණු ආවරණ පැළඳීමේ වර්තමාන සෞඛ්‍ය සම්පන්න පුරුද්ද වෙනස් නොකරන ලෙස සාමාන්‍ය ජනතාවට උපදෙස් දීමට අපේ සංගමය අපේක්ෂා කරයි, රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද ඖෂධ හිඟය සමඟ ආර්ථික අර්බුද ඇතිවී විශේෂයෙන් රට නරක තැනක ගමන් කරමින් සිටන මේ අවස්ථාවේ මෙම යහපත් පුරුද්ද වෙනස් කිරීමට හොඳම කාලය මෙය නොවේ.
ශ්වසන ආසාදනවලින් පෙළෙන වැඩිහිටියන් සහ ප්‍රතිශක්තිකරණය අඩු අය වැනි අවදානමට ලක්විය හැකි ජනගහනය වළක්වා ගැනීම සඳහා සියලුම සෞඛ්‍ය සේවා ආයතනවල මුඛ ආවරණ පැළඳීමේ පුරුද්ද පවත්වා ගන්නා ලෙස අපි සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමු.

ආවරණ පැළඳීම අපේ රටේ සහ ලෝකයේ සෙසු රටවලට දැවැන්ත සෞඛ්‍ය ප්‍රතිලාභ පෙන්නුම් කර ඇති අතරම වටිනා කුඩා පියවරක් බව වටහා ගැනීම වැදගත්ය.