bus-private-monday

බස් රථ සඳහා නිසිපරිදි ඩීසල් ලබාදීමට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලධාරීන් කටයුතු නොකරන නිසා ලබන සඳුදා (06)දා පෞද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කරණ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ලංගම ඩිපෝ හරහා ඩීසල් ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන බවට අවස්ථා ගණනාවකදීම බලධාරින්න පොරොන්දු ලබාදුන්නද එම පොරොන්දු ඉටු නොකළ බවත්,



එහෙත්  පසුගිය දිනවල පැවති අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය නිසා බස් හිමියන් කිසිදු ක්‍රියාමාර්ගයක් සිදුනොකළ බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. දින ගණනක් පෝලිම්වල රැඳී සිටිමින් බස් රථ. රියැදුරන් හා බස් හිමියන් ඩීසල් ලබාගනිමින් විභාගයට පෙනීසිටි අයදුම්කරුවන්ට නිසි ලෙස ප්‍රවාහන පහසුකම් ලබාදුන් බවත්,

ඊයේ (01දා) විභාගය අවසන් වී තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය. මේ නිසා ඩීසල් අඛණ්ඩව ලබාදෙන වැඩපිළිවෙළක් ඉදිරි දින දෙක තුළ සකස් කළ යුතු බවත්, එසේ නොවුණහොත් මේ  මස 06වැනිදා සිට බස් රථ ධාවනයෙන් ඉවත්කර ගැනීමට තීරණය කර තිබෙන බවත් සභාපතිවරයා සඳහන් කළේය. එසේම ඩීසල් නොමැති වීම නිසා සමහර බස් රථ මගී ජනතාව සමග අතරමග නවතින බවත්, මේ නිසා  බස් මගීන් පවා අසරණ වන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.



රට තුළ බස් රථ 20,000ක පමණ ප්‍රමාණයක් තිබෙන බවත්, පවතින ඩීසල් හිඟය නිසා මේ වනවිට දෛනිකව ධාවනය කරනු ලබන්නේ බස් රථ 3,500ත් 5,000ත් අතර ප්‍රමාණයක් බවත් සභාපතිවරයා පැවසීය.පවතින තත්වය තුළ බස් රථ සඳහා ඩීසල් ලබාගැනීමට දින ගණන් පෝලිම්වල රැදීසිටීමට සිදුවන බවත්, ලංගම ඩිපෝ මගින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබාදෙන බව ප්‍රකාශ කළත්, මේ වනවිට ලංගම බස් රථවලට පවා ඉන්ධන නොමැති තත්වයක් නිර්මාණය වී තිබෙන බවත් හෙතෙම වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.