පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක සති අන්ත පුවත්පතකට තමා පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට හේතු පළකරමින් අදහස්දක්වා ඇත. මේ සමග පළවන්නේ එම සාකච්ඡාවේ කොටසකි.
ඔබ පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ඇයි තීරණය කළේ?
ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් අපි සමගි ජන බලවේගය සමග 2020 මාර්තු මාසයේ ගිවිසුමක් අත්සන් කළා. ඒ අනුව තමයි ඔවුන් සමග මැතිවරණයට තරග කළේ. ගිවිසුම අනුව ස්වාධීනව කටයුතු කිරීමේ අයිතිය අපිට හිමිව තිබුණා.
අපි එම අයිතිය මෙච්චර කල් පාවිච්චි කළේ නැහැ. සමගි ජන බලවේගය ආණ්ඩු විරෝධී ප්රජාතන්ත්රවාදී පක්ෂයක් ලෙස කටයුතු කරයි කියලා නමුත් එම බලාපොරොත්තු ඉෂ්ට වෙලා නැහැ. ඒ නිසයි මම ස්වාධීන වුණේ. ස්වාධීන වුවත් සමගි ජන බලවේගය හතුරු බලවේගයක් නොවෙයි. මිතුරු බලවේගයක් ලෙස අපි සලකනවා. අරගලයත් සමග එකට යන ආණ්ඩුකරණයට වෘත්තියවේදීන් සමග ගමනක් යන්න අපි තීරණය කළා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග මෙම ගමන යන්න අමාරුද?
ඔහුගේ නායකත්වය හෝ පෞද්ගලික ප්‍රශ්නයක් අපිට නැහැ. රටේ පොදු ප්‍රශ්නයක් තියෙන්නේ. විපක්ෂ නායකවරයා ගෝල්ෆේස් පිටියට ගියේ අරගලයට පහර දෙන එක වළක්වා ගන්නයි. නමුත් හිටපු පිරිස ඔහුට පහර දුන්නා. මෙය අපි අවබෝධ කර ගත යුතුයි. එතනට මම ගියත් ඔච්චරයි. රටේ තත්ත්වය අවබෝධ කර ගනිමින් අපි දේශපාලනය කළ යුතුයි.
ජනාධිපතිවරයා ආරාධනා කරලත් විපක්ෂ නායකවරයා අගමැති ධුරය භාර ගැනීමටත් මැළි වුණා. ඇත්තටම ඔහුට නායකත්ව ලක්ෂණ නැද්ද?
අගමැති ධුරය භාර නොගැනීම ඔහු කළ වරදක්. ඔහුට තිබුණේ ජනාධිපතිවරයාට පසුවදාම ඉල්ලා අස්වෙන්න කියන්නේ නැතිව කාල වකවානුවක් දීලා සියලු පක්ෂ සමග සාකච්ඡා කර විධිමත් වැඩපිළිවෙළක් හදන්නයි. ඒ අභියෝගාත්මක මොහොතේ අගමැති ධුරය භාර ගන්න තිබුණා.
ධම්මික පෙරේරා දේශපාලනයට එන්න හදනවා ඒ ගැන ඔබේ අදහස කුමක්ද?
ධම්මික පෙරේරා මේ රටේ විවිධ ධුර දැරුවනේ. ආයෝජන මණ්ඩලය, ප්‍රවාහන අමාත්‍යාංශය වැනි රාජ්‍ය ආයතනවල ඔහු හිටියනේ. ඔහුගේ කාර්යභාරය ඉතිහාසය විසින් තීරණය කරයි. ඔහුගේ පුද්ගලික හැකියාව, ධනය රට වැටී ඇති තැනින් ගොඩ ගැනීමට අවස්ථාවක් ලැබෙයි කියා බලාපොරොත්තු වන්නේ නැහැ. ඔහු දැන්ම විවේචනය කරන්න ඉදිරිපත් වෙන්න හොඳ නැහැ.
(සාකච්ඡාව -උදයජීව ඒකනායක)
0 Comments