child-nutrition

සෞඛ්‍ය දර්ශක අතින් අපේ රට ඉහළ මට්ටමක සිටිය ද පෝෂණ දශක අනුව තවමත් සෑහීමකට පත් විය හැකි තත්ත්වයකට රට ස්ථානගතව නැත. අප මුහුණ දෙන ප්‍රධාන පෝෂණ ගැටලු අතරට උසට සරිලන බර අඩුවීම, ඌන පෝෂණ ත ත්වය සේම උසට සරිලන බරට වඩා වැඩි බරක් ඇති වීම, බර වැඩි නැතිනම් තරබාරු තත්වයත්, ක්ෂුද්‍ර පෝෂක ඌනතා වන යකඩ ඌනතාව,  විටමින් 'ඒ' ඌනතාව, අයඩින් ඌනතාවත් ඇතුළත් වේ. මෙනිසා අඩුඋපත් බර දරුවන් ඇති වීමේ ප්‍රවණතාව වැඩි වී ඇත. මේ වනවිට ළමයින් අතර මන්දපෝෂණය ඉහළ යමින් තිබේ. නිරෝගීකම ගැන අප සිතිය යුතු වන්නේත් වැඩි අවධ්‍යනයක් යොමු කළ යුතු වන්නේත් දරුවකු මවුකුස පිළිසිඳ ගැනීමටත් පෙර සිටයි. එනම් ගැහැනු දරුවාගේ පෝෂණය ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

ගැහැනු දරුවකු විවාහ වන වයස එළැඹෙන විට උසට සරිලන බරින් යුතුවීම මෙම යකඩ, අයඩින්, විටමින් ඌනතාවලින් තොර වීමත් අනාගතයේ ඉපදීමට සිටි දරුවාගේ නිරෝගී ජීවිතය කෙරෙහි ප්‍රබල බලපෑමක් එල්ල කරනු ලැබේ. එසේම බර වැඩි, තරබාරු යෙවනියන්ට දරුඵල පමා වීමට මෙන්ම මඳ සරුභාවය ඇති වීමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් ඇති බව වර්තමානයේ දී අපට සුලබව ඇසෙන කරුණකි.



මවට පෝෂණ ඌනතා ඇති වීම නිසා අඩු උපත් බර සහිත දරුවකු බිහි වීමට ඇති ප්‍රවණතාව ද වැඩි කෙරේ. මෙහි දී අඩු උපත් බර යනුවෙන් හැඳින්වෙන්නේ කිලෝග්‍රෑම් 02.05කට වඩා අඩු උපත් බර වේ. අඩු උපත් බර සහිත දරුවන් මන්දපෝෂණයට, ක්ෂුද්‍ර පෝෂක ඌනතාවට මෙන්ම ඒ හේතුවෙන් ඇති වන බුද්ධිය හීන වීමට, ප්‍රතිශක්තිය අඩුවී රෝගවලට භාජන වීමට ඉඩකඩ ඇත. එසේස්ම දියවැඩියාව. අධික රුධිර පීඩනය, හෘදයාබාධ, අංශභාගය, පිළිකා වැනි බෝ නොවන රෝග සඳහා ද අවදානමක් පවතී. දරුවා ඉපදුනු පසු නිසි පෝෂණයක් නොලැබීමෙන් හොඳ උපත් බරක් සහිතව බිහිවන දරුවන් පවා මන්දපෝෂණයට ලක් වීමට වැඩි අවදානමක් ඇත.

අපේ ආහාර රටාව, ජීවන පැවැත්ම, දුම්පානය, මත් වතුර භාවිතය, මානසික ආවේගශීලී බව, ස්වභාවධර්මය විසින් අපට ලබා දී ඇති බොහොමයක් සම්පත් විනාශ කිරීමට හේතු වී තිබේ. විශේෂයෙන්ම ජීවන චක්‍රයේ විවිධ  වයස් කාණ්ඩවල දී ආහාර වේල ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත් වේ.  රටේ අද පවතින ආර්ථික අර්බුදයත් සමග අප මේ වනවිට විවිධ අපහසුතාවලට මුහුණ දී සිටිමු. ඒ අභියෝග මැද අපේ ආහාරවේල කෙසේ සකසා ගත යුතුද යන්න අවධානය යොමු විය යුතුම කාරණාවකි. නිරෝගී බව රැක ගැනීම මෙන්ම වැඩි දියුණු කොට පවත්වා ගැනීම සඳහා අපේ ආහාර පිඟානේ තිබිය යුත්තේ මොනවාද? එදිනෙදා කාර්යය කර ගැනීම සඳහා ශක්තිය ලබාදෙන ආහාර වර්ග, එමෙන්ම වර්ධනය සහ ගෙවී යන කොටස් අලුත්වැඩියා කිරිමට අවශ්‍ය වන ආහාර වර්ග සහ ශරීරය ආරක්ෂා කරන ආරක්ෂක ආහාර වර්ග වේ. අපට ශක්තිය ලබා දෙන්නේ බත්, කුරක්කන්, මෙනේරි, බඩ ඉරිඟු, තිරිඟු වැනි ධාන්‍ය වර්ට අල, බතල, කොස්, දෙල් සහ තෙල් හා මේ ස්වල්පයක් වශයෙනි.

විශේෂයෙන්ම දරුවන්ගේ වයස අවුරුදු 20ක් පමණ වනතෙක් ශය වර්ධනය කරන්නේත් වැඩිහිටියන්ගේ ගෙවී යන කොටස් අලුත්වැඩියා කරන්නේත් වර්ධක ආහාරයි.

එනම් සත්ත්ව ආහාර වන මාළු, මස්, බිත්තර, කරවල, හාල්මිල්සන්, කිරි සහ කිරි ආහාර වර්ගයි. එසේ ශාක ආහාර වන පියලි ඇට වර්ග, කවුපි, කඩල, මුං ඇට, පරිප්පු, සෝයා බෝංචි ද ඇතුළත් වේ. අනෙක් අත්‍යවශ්‍ය ආහාර කොටස වන්නේ ශර්ණය ආරක්ෂ කරන විටමින්, ඛනිජ වර්ග සහ තන්තු මෙන්ම ප්‍රතිඔක්සිකාරක (එනම් පිළිකාමය තත්ව වළක්වන, රුධිරවාහිනී ආරක්ෂා කරන) එළවළු, පලතුරු සහ පළා වර්ගය. ඉහත ආහාර කාණ්ඩ ගැන ඔබ දැනුවත් නම් අපේ ආහාර පිඟානේ තිබිය යුතුම සිරුර නිරෝගී කරන දේවල් සහිත ආහාර වේලක් සකසා ගැනීමට වැඩි මුදලක් අවශ්‍ය නොවේ. වෙළෙඳපොළේ විවිධ එළවළු, පලතුරු, පළා වර්ග ඇති අතර මිල දර්ශකය බලා තමන්ගේ ආර්ථිකයට ගැළපෙන එළවළු තෝරා ගන්න. මිල අඩු එළවළු වර්ග දෙක තුනක් වෙනදා ගන්නා ප්‍රමාණයට වඩා අඩුවෙන් ගන්න. නිවසේ සිටින සාමාජිකයන්ට සරිලන පරිදි එළවළු වර්ග දෙකක් මිශ්‍ර කර එක් වෑංජනයක් සකසා ගන්න. එයටම හාල්මැස්සන් කිහිපදෙනකු හෝ බිත්තරයක් දෙකක් එකතු කර ගත  හොත් නැත්නම් පරිප්පු වැනි ඇට වර්ගයකින් මේස හැඳි දෙකක් තුනක් එකතු කර ගතහොත් එක් වැංජනයකින් හොඳ පෝෂණයක් ලබා ගත හැකිය. එමෙන්ම කොස් බහුල මේ කාලයේ කොස්වලින් අපේ ආහාර වේල පෝෂදායී ලෙස සකසා ගැනීමේ හැකියාව පවතී.පාන් පිටි කොත්තු කෑමට පුරුදු වී සිටින බොහෝ දෙනකුට ගෙදර ඇති එළවළු සුළු ප්‍රමාණයෙන් තිබුණත් ඒ සියල්ල තෙල් ස්වල්පයක් එකතු කර කුණිස්සන් හෝ හාල්මැස්සන් කිහිප දෙනකු හෝ එකතු කර තැබූ කොස්වලට දමා මිශ්‍ර කර කොස් කොත්තුවක් ආහාරයට එකතු කර ගත හැකිය.

එමෙන්ම මඤ්ඤොක්කා වැනි අල තබා පොල් සමග කෑම වෙනුවට වතුර පෙරා ගත් පසු පළා මිටක්, සිහින්ව ලියා  ගත් වට්ටක්කා, දඹල වැනි එළවළුවක් හුමාලයෙන් තැම්බෙන ලෙස එකතු කර  ගත හොත් ශරීරයට අවශ්‍ය පෝෂක පහසුවෙන්ම ලබා ගත හැකිය.  ඒ වගේම ඇට වර්ග තැබූ පසු ඊට පළා  වර්ගයක්. පොල් ටිකක් බිත්තරයක් මෙන්ම තෙල් ස්වල්පයක් ද එකතු කිරීමෙන් රසවත් පෝෂදායී ආහාරයක් විශේෂයෙන්ම  දරුවන් උදෙසා පිළියෙළ කර ගත හැකිය.  ගර්භණි මවුවරු මෙන්ම කිරි දෙන මවුවද ඔබේ පෝෂණය ගැන විශේෂ අවධානයක්  යොමු කළ යුතුය. බිළිඳු දරුවකුගේ නිරෝගීකමට මවගේ පෝෂණය බෙහෙවින් ඉවහල් වන සාධකයකි. පෙර මෙන් දකින හැම කෑමක්ම කනට නැතැයි පසුතැවිලි නොවී වටපිටාවේ ඇති පළා වර්ග ඇට වර්ග එළවළු වර්ග වැඩිපුර ආහාරයට එකතු කරගත හැකිය.

විවිධ පිටිකිරි වර්ග පානය කිරීම වෙනුවට මීකිරි, යෝගට් වැනි ආහාරයකින් එකී අවශ්‍යතාව සපුරා ගත හැකිය. යකඩ ඌනතාව වළක්වා ගැනීමට යකඩ පෙති භාවිත කරන අතරම පළා වර්ග වැඩිපුර ආහාරයට එක් කර ගත හැකිය. ඇට වර්ග තම්බන විට ඒවා පැය 12ක් 18ක් පමණ පෙගෙන්නට හැර පැළවූ තත්ත්වයෙන්ම තම්බා ගත හැකි නම් ඒවායේ යකඩ පහසුවෙන් ශරීරරයට උරා ගැනීමට පහසු වනු ඇත. තමන්ගේ ගෙවත්තේ ඇති පලතුරුනිතරම ආහාරයට ගන්න. රොටි සැකසීමේ දී වුවද නිවසේ සුළු වශයෙන් ඉතිරිව ඇති එළවළු සිහින්ව කපා රොටියට එකතු කර වැඩි පෝෂක ප්‍රමාණයක් ලබා දිය හැකිය. මිල අධික යැයි සිතමින් මාළු මිල දී ගැනීමට නොහැකි වුවත් ඊට වඩා මිලෙන් අඩු බිත්තර වැඩෙන දරුවන්ට ලබා දීමට හැකි වුවහොත් ඔවුන්ගේ වර්ධනය මෙන්ම ලෙඩ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කරගත හැකිය.

මෙතෙක් තමන්ගේ ගෙවත්තේ තිබුණ ද වැඩි මිලක් නොදැරූ සේම විශේෂයෙන් ඉතා කලාතුරකින් ආහාරයට ගත් පේර, ජම්බු, ඇඹරැල්ලා, කාමරංගා, ගස් ලබු, අඹ, නාරං,ලොවි, වෙරළු, නෙල්ලි, කොමඩු, ලාවුළු, අන්නාසි වැනි පලතුරුවලට දරුවන් වඩ වඩාත් යොමු කරවන්න. පවුලේ සෙසු සාමාජිකයන් අතරත් මෙම ආහාර බෙදා ගත හැකිය. විවිධ විස රසායනික යොදා ඇති පිටරටින් ආනයනය කරන ඇපල්, මිදි, දොඩම්වලට වඩා මේ පලතුරු ඉතා ගුණදායකයි. චීස්, බටර් නැතිව දුක් වීමට වඩා දරුවන්ට මී කිරි, සෝයා නිෂ්පාදනවලින් පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට උත්සාහ දරන්න. ගෙවත්තේ මල් පෝච්චියක, සහල් කවරයක, භාවිත කර ඉවත දැමූ බඳුනක පළා ටිකක්, එළවළුවක් වගා කර ගත  හැකිය. විශේෂයෙන්ම පිටිකිරි මිල ඉහළ ගොස් ඇති මේ කාලයේ වෙනත් විකල්ප දෙස අවධානය යොමු කරන්න.  අලුත උපන්  බිළිඳාට මාස 06ක් ගතවන තුරු ලබා දිය හැකි එකම ආහාරය මවුකිරි පමණි. ඉන්පසු මවුකිරි සමඟ අනෙකුත් ආහාරත් හුරු කරවීමට උත්සාහ ගන්න.

එම ආහාර වටිටෝරුවේ පිටිකිරී තිබීම අවශ්‍ය නැත. ඒ වෙනුවට යෝගට් වැනි කිරි ආහාරයක් තිබීමත් වැදගත් වේ. දරුවන්ගේ පෝෂණය සේම ඔවුන්ගේ ක්‍රියාශීලිත්වය ගැන ද අවධානය යොමු කිරීමට මේ සුදුසුම කාලයයි. ඒ උදෙසා දරුවන්ට එළිමහනේ සෙල්ලම් කිරීමට පැයක්වත් ඉඩ ලබා දෙන්න. එවිට සමට පතිත වන හිරු එළිය මගින් ශරීරයට අවශ්‍ය විටමින් D ලබා ගත හැකි වනු ඇත. වැඩිහිටියන්ද උදෑසන 10ත් 12ත් අතර පැය භාගයක්වත් හිරු එළියට නිරාවරණය  වීම සුදුසුවේ. අපි සියලුම දෙනා මේ ගත කරන්නේ ඉතාම දුෂ්කර කාලයකි. හැම දෙයක් දෙසම එකම  කෝණයකින් නොබලා මැදිහත්ව සිතුවොත් අපේ  ගෙවත්තෙන්, ගෙදරින්ම ලැබෙන පලදාවෙන් නිරෝගීකම රැක ගත හැකි වේ. නිවසේ සාමාජිකයන්ගේ පෝෂණය පවුලේ සියල්ලන්ගේම වගකීමක් යුතුකමක් බව සිතා ඉතා සුබවාදීව මේ අභියෝගයටත් අපි සුබවාදීව මුහුණ දෙමු.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන
සටහන - මාධවී ධර්මරන්න