dasun-shanaka-speaks

මෙවැනි අර්බුදකාරී තත්ත්වයක් හමුවේ වුවද, ක්‍රිකට් තරග නැරඹීමට උනන්දුවක් දක්වන ප්‍රේක්ෂකයන් වෙනුවෙන්, ලෝක ශූර ඔස්ට්‍රේලියාව සමගින් අද (7 වැනිදා) සිට ඇරඹෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට තමා ඇතුළු කණ්ඩායම සූදානමින් සිටින බව ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි.


ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන එක්දින, විස්සයි විස්ස සහ ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් ඊයේ (6 වැනිදා) කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා නායකයා මේ බව කියා සිටියේය.

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අදාළ පළමු තරගය අද (7 වැනිදා) රාත්‍රී 7.00ට කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනු ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දසුන් ‘රටේ පවතින තත්ත්වයත් එක්ක පැමිණි ඔස්ට්‍රේලියාව සාදරයෙන් පිළිගන්නවා. කණ්ඩායමක් විදිහට ගත්තාම අපිට හොඳ සූදානමක් තියෙනවා.

ඉකුත් පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියාවට ගිහින් ඔවුන්ගේ තණතීරුවල අපි ඔවුන්ට අභියෝගයක් වුණා. මම හිතනවා අපිට හොඳ අවස්ථාවක් තියෙනවා මේ තරගාවලිය ජය ගන්න කියලා. මොකද අයි.පී.එල්. වලට ගිහිල්ලා අපේ ක්‍රීඩකයෝ දක්ෂතා අතරට ඇවිත් ඉන්නවා. ඒ වගේම ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ අවස්ථාවේදී ජයග්‍රහණය කරලා රටේ ජනතාවට සතුටක් එක් කරන්න’ යැයි කීය.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකා සංචාරයක් සඳහා එක් වන්නේ 2016 වසරෙන් පසුව හෙවත් වසර 6කට පසුවය. එම සංචාරය යටතේ පැවැති විස්සයි විස්ස තරගාවලි ජය 2-0කින් ඔස්ට්‍රේලියාව සතු වූයේය. අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම ඉකුත් පෙබරවාරි මාසයේ ඔස්ට්‍රේලියා සංචාරයක නිරත වූ අතර එහිදී 4-1ක් ලෙස ශ්‍රී ලංකාවට පරාජය හිමි විය.

දෙරට අතර මෙතෙක් පවත්වා තිබෙන විස්සයි විස්ස තරග 22කින් ඔස්ට්‍රේලියාව තරග 13ක් දිනා ගන්නා අතරවාරයේදී ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ තරග 09ක් පමණි.



ශ්‍රී ලංකා පිලේ කඩුලු පිටුපස වගකීම කුසල් මෙන්ඩිස්ට පැවරී තිබේ. මේ අතර වේග පන්දු යැවීමේ උපදේශක ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට කිට්ටු ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාරට හෝ යොවුන් ක්‍රීඩක මතීෂ පතිරණ යන දෙදෙනාගෙන් එක් අයෙක්ට අද තරගයේ ස්ථානයක් හිමිවනු ඇති බව සැලවේ.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම විසින් මිචෙල් ස්ටාර්ක්, කේන් රිචඩ්සන් සහ ජෝෂ් හස්ලිවුඩ් යන ප්‍රධාන වේග පන්දු යවන්නන් මෙන්ම මාකස් ස්ටොයිනිස් සහ මිචෙල් මාෂ් යන අතිරේක වේග පන්දු යවන්නන්ද කණ්ඩායමට එක්කර තිබේ. අද තරගය සඳහා වැඩි ඉපිලීමක් රහිත තණතීරුවක් සකස්කර තිබෙන බව ශ්‍රී ලංකා නායකයා මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

අද තරගය ක්‍රීඩා කරනු ඇතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම

ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, චරිත් අසලංක, දසුන් ශානක (නායක), වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර හෝ මතීෂ පතිරණ.



අද තරගය ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියා කණ්ඩායම

එරන් ෆින්ච් (නායක), ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලෙන් මැක්ස්වෙල්, ස්ටීව් ස්මිත්, මාකස් ස්ටොයිනිස්, මැතිව් වේඩ්, ඇෂ්ටන් ආගර්, මිචෙල් ස්ටාර්ක්, කේන් රිචඩ්සන්, ජෝෂ් හස්ලිවුඩ්.

(ගයාශාන් විතානආරච්චි)