dengue-message

මෙම මාසයේ ගත වූ දින 8ක කාලයේදී ඩෙංගු රෝගීන් 2416 දෙනකු වාර්තා  වී ඇතැයි ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත්  සමරවීර මහතා සඳහන් කළේය. 



මෙම වසරේ ගත වූ කාලයේදී එනම් වසර ආරම්භයේ සිට 9 උදෑසන 7.00 දක්වා ඩෙංගු බවට තහවුරු වූ හා සැක කරන රෝගීන් 26,622දෙනකු වාර්තා වී ඇතැයි කී අධ්‍යක්‍ෂවරයා ඉන් රෝගීන් 25 දෙනකු ඩෙංගු රෝගය හා වෙනත් රෝගී  තත්වයන් උත්සන්න වීමෙන් මියගොස් ඇතැයි ද පැවසීය. මියගිය අයගෙන් 8 දෙනකු වයස අවුරුදු 5ත් 20ත් අතර බවත්, 12 දෙනකු අවුරුදු   20ත් 5ත් අතර වයසේ පසුවන බවත්  කී සුදත් සමරවීර මහතා අවුරුදු 5ට අඩු දරුවන් දෙදෙනකු මියගොස් ඇති බව කීවේය.අධ්‍යක්‍ෂවරයා මේ බව පැවසුවේ රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මැයි මාසයේ දී ඩෙංගු ආසාදිතයන් 6,483දෙනකු වාර්තා වී ඇතැයිද වෛද්‍යවරයා පැවසීය. මෙම ආසාදිතයන්ගෙන් වැඩිම ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර,  මෙම මාසයේ වාර්තා වූ රෝගීන් 2416න් 728ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්, 354ක් ගම්පහින් සහ 233ක් කළුතරින් වාර්තා වී ඇතැයි ද කීය.

මීට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 186ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 148ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් 119ක්,  රත්නපුර දිස්ත්‍රික්කයෙන් 104ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 76ක් වාර්තා වන බවද හෙතෙම පැවසීය. පසුගිය සතිය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් විශ්ලෙෂණය කර බැලීමේදී අධි අවදානම් තත්වයක් මතුවී ඇතැයි කී වෛද්‍යවරයා එළඹෙන සතිවලදී මෙය තවත් වැඩිවිය හැකි බව ද ප්‍රකාශ කළේය.

රෝගීන් නිසි වේලාවට ප්‍රතිකාරවලට යොමු වූයේ නම් මෙම සෑම මරණයක්ම වළක්වාගත හැකිව තිබූ බවද සඳහන් කළ සමරවීර මහතා උණ රෝගයක් ඇතිවුවහොත් නොපමාව වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ වැදගත් බවද කීය. වසංගත රෝග විශේෂඥ වෛද්‍ය බුද්ධික මහේෂ් මහතා මෙහිදී පැවසුවේ බස්නාහිර පළාත තුළ ඩෙංගු මර්දන සතියක් එළඹෙන ජූනි 15 සිට 21 දක්වා ක්‍රියාත්මක බවයි. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය සහ ජාතික බෝවන රෝග මධ්‍යස්ථානයේ කායික රෝග විශේෂඥ  වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාද මෙම මාධ්‍ය හමුවට සහභාගී වූහ.