dhammika-perera-minister-after-basil

හෙට (9) බ්‍රහස්පතින්දා බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන අතර අනතුරුව දහවල් මාධ්‍ය හමුවක් පවත්වා සතිඅන්තයේ ඇමරිකාව බලා පිටත්වීමට නියමිත බව අප මින් ඉහත හෙළි කරන ලදි.


බැසිල් රාජපක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දැරූ බැවින් ඔහුගෙන් හිස්වන අසුන පිරවීමට පොදුජන පෙරමුණට කැමති අයෙකු පත්කළ හැකි බැවින් ඒසදහා තොරාගන්නට යන්නේ ප්‍රකට ව්‍යාපාරික
ධම්මික පෙරේරා මහතාව බව දේශපාලන ආරංචි සවස වාර්තා කළේය.
ධම්මික පෙරේරා මහතා ඊයේ (ජූනි 7) සවස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ සාමාජිකත්වය ලබා ගෙන ඇති බවද වාර්තා විය.
ඔහු මන්ත්‍රී ධූරයට පත්වූ විගස කැබිනට් අමාත්‍යවරයෙකු වශයෙන් පත්කිරීමේ සූදානමක් පවතින අතර ඔහුට බොහෝදුරට ආයෝජන ප්‍රවර්ධන ඇමති ධූරය හිමිවනු ඇතැයි වාර්තාවේ.
ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා වශයෙන් සැලකෙන ධම්මික පෙරේරා වැලිබල් ෆිනෑන්ස් සමාගමේ හිමිකරුය. සම්පත් බැංකුව, පෑන් ඒෂියා බැංකුව ආදී මූල්‍ය ආයතන ගණනාවක වැඩි කොටස් ප්‍රමාණයක් හිමිවන්නේ ඔහුටය.හේලීස් සමූහ ව්‍යාපාරය මෙන්ම සිංගර් ශ්‍රී ලංකා සමාගමද ඔහුගේ වන අතර ලංකා ටයිල්ස්,රෝයල් සෙරමික් ආදී ඉදිකිරීම් ක්ෂෙත්‍රයේ ව්‍යාපාර රැසකද වැඩි කොටස් ඔහු සතුය.මීට අමතරව අමායා හෝටල්,කිංස්බරි හෝටල් ආදී සංචාරක කර්මාන්තයට සම්බන්ධ ආයතන ගණනාවක්ද ඔහු සතුය.


ඔහුගේ ව්‍යාපාර කටයුතු ආරම්භය ප්‍රේමදාස යුගයේ ජැක්පොට් හා සූදු ආශ්‍රිතව ගොඩනගුණත් පසුකලෙක ඔහු කොටස් වෙළෙඳ පොළෙහි උපායමාර්ගික ලෙස ආයෝජනයන්හි නිරතවූ බැවින් ව්‍යාපාර ගණනාවක් තමන් සතු කරගන්නට සමත් වූයේය.
මහින්ද රාජපක්ෂ ජනපති සමයේ ප්‍රවාහන අමාත්‍යංශයට සම්බන්ධවී වැඩ කළ ඔහු පසුව ගෝඨාභය රාජපක්ෂ මැතිවරණයට තරග කරද්දී පොදු ජනපති අපේක්ෂකයකු වන බවට රාවයක් පැතිරුණත් එලෙස නොකළේය.
මෑත කාලිනව රට පත්ව ඇති ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් තමන්ට කළ හැකි යමක් තිබේ නම් රට වෙනුවෙන් ඉටු කරන්නට සූදානම් බව ඔහු කියා සිටි අතර මීට සති කිහිපයකට ඉහතදී ටෘත් විත් චමුදිත වැඩසටහනකට එක්වෙමින් ඇමති ධූරයක් හෝ මුදල් අමාත්‍යංශ ලේකම් ධූරයක් ලබාදෙනවානම් භාරගන්නවා යනුවෙන්ද පැවසීය.
ලංකාවේ දිගටම දැන් ණය ගන්නවා නමුත් මුදල් උපයන වැඩසටහන් නැහැ. කොච්චරකල් එහෙම කරන්නද? අපි මුදල් ඉපැයීමේ වැඩසටහන් සැකසිය යුතුය යන්න ඔහු එම සාකච්ඡාවේදී පැවසීය.
ඔහුගේ සෘජු දේශපාලන ආගමනයක් සිදුවන්නේ එවැනි පසුබිමකය.