dhammika-perera-president-candidate

තවම ධූරයේ වැඩ අරඹා නැති නමුත් ධම්මික පෙරේරාගේ දේශපාලන ආගමනය මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇති කරන මාතෘකා සපයා තිබේ.
කලෙක සිටම පොදු ජනපති අපේක්ෂකයෙකු වීමේ සිහිනයක් දුටු ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ ප්‍රතිරූපය ගොඩනැගෙන්නේ ඔහු තමන්ගේ ව්‍යාපාර සාර්ථකත්වයට පත් කළ අයුරින් රජයට සම්බන්ධවීමෙන් පසු රජයේ ආයතනද කාර්යක්ෂම කර  ගොඩනගනු ඇතිය යන විශ්වාසය පදනම් කරගනිමිනි.
ආර්ථික අර්බුදය සමග පසුගියදා රාජපක්ෂ කඳවුරට එල්ලවූ ජනතා පීඩනය නිසා රාජපක්ෂ වරුන් මෙන්ම පොහොට්ටුව බෝඩ් ලෑල්ලකට සීමාවී සුනුවිසුණු වී ගිය අතර බැසිල් රාජපක්ෂ සිය උපායශීලී නුවණින් පරාජයෙන් ගොඩඒමට අලුත් සැලසුමක් සකස් කළේය.
අර්බුදය තුළ බුද්ධිමය මෙහෙයවීමක් සදහා රනිල්ට අගමැති පදවිය තාවකාලිකව භාර දුන් අතර බංකරයේ සැඟවුණ රාජපක්ෂලාට ටික ටික ඉදිරියට ඒමට රනිල් මග පාදා දුන්නේය. ඉදිරියේදී පක්ෂය යලි ගොඩනගන්නට නම් ජනතාවට එපාවූ රාජපක්ෂවරුන් වෙනුවට අලුත් මුහුණක් නිර්මාණය කරන්නට කල්පණා කළේය. මේ සදහා තෝරාගත්තේ කලෙක සිට ජනපති සිහිනය දුටු නමුත් පිරිස් බලය හෝ දේශපාලන ශක්තිය අතින් දුර්වල වී සිටි ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයාය.


ඔහු සිය සමාගම් රාශිය පවුලේ අයට පිරිනමා විශාල කැපකිරීමක් කර දේශපාලනයට සෘජුව පිවිසෙන්නේ මන්ත්‍රී පදවියකින් හෝ තාක්ෂණික හා ආයෝජන ප්‍රවර්ධන ඇමති ධූරයෙන් පමණක් සෑහීමකට පත් නොවන්නටය.ජනපති අපේක්ෂක පොරනේදුව මතය.
බැසිල්ගේ ඉදිරි පක්ෂ ප්‍රතිසංවිධානය ධම්මික පෙරේරා වටා ගොනුවී ඇතැයි දේශපාලන ආරංචි අනාවරණය කරයි.
මෙය 2010 ෆොන්සේකා ගෙන්වා 2015 මෛත්‍රිපාල ගෙන්වා රනිල් ගැසූ ‘ගේම්‘ වලට එහා ගිය දෙයකි.
ඒ අනුව ඉදිරි කාලයේ ධම්මික රට තුළ කැපී පෙනෙන වෙනස්කම් සදහා යෝජනා ඉදිරිපත් කරන අතර එහි සාර්ථක අසාර්ථකභාවය කෙසේ වෙතත් ජනතාව තුළ ප්‍රබෝධයක් ඇති කරන ආකාරයට ඒවාට  විශාල ප්‍රචාරණයක් ලබාදී එහි සුබදායි පැත්ත නැවත නැවත උලුප්පා එය පක්ෂයේ ප්‍රචාරණ අංගයක් බවට පත්කරගන්නට නියමිතය. අනුමානය අනුව මාස 06 ක කාලයකදී ජනතාවට පැරණි අයහපත් තත්වය අමතක කරවන්නට හැකි නව වෙනස්කම් හදුන්වාදෙන සැලසුමක් පවතී.
අවසානයේ බැසිල් යළි කරලියට පිවිසෙන අතර ඔහුගේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊළග මැතිවරණය සදහා සූදානම් වන්නේ ධම්මික පෙරේරා මුල් කරගත් නව පක්ෂයක් ලෙසිනි.

බිලියනපතියන් වන මේ කන්ඩායමට මෙම සම්පූර්ණ ව්‍යාපෘතියේ ප්‍රචාරණ මුදල් සම්බන්ධ ප්‍රශ්නයක්ද පැන නොනගින අතර ජනතාව තුළ සුබවාදී චිත්‍රයක් පිහිටුවීම වෙනුවෙන් විශාල ‘බජට් එකක් ‘දැනටමත් වෙන්කර ඇතැයිද පැවසේ.


21 වන සංශෝධනයට බැසිල්ගේ කණ්ඩායම ඉදිරියටත් විරුද්ධ වන්නේ ජනපති හා අගමැති තනතුරු දෙකම මෙයාකාරයෙන් පැවතීම ඔවුනගේ මෙම බල ව්‍යාපෘතියට අවශ්‍යවී ඇති බැවිනි.
කෙසේ වෙතත් අවස්ථා ගණනාවකදී රැවටීමට ලක්වූ ජනතාව මේ සියල්ල කවර ආකාරයෙන් තේරුම් ගනීද යන්න තවම පැහැදිලි නැත. කෙසේ නමුත් එක් දෙයක් පමණක් පැහැදිලිවේ. එනම් බැසිල් අලුත් විදිහට නැවත වැඩ අරඹා තිබෙන බවය.
මේ දිනවල පැතිරෙන අලුත්ම කියමනකින් පැවසෙන්නේ, “කොරෝනා අර්බුදයේදී රජය හදුන්වාදුන්නේ ‘ධම්මික පැණියයි‘ අර්ථික අර්බුදයේදී රජය හඳුන්වාදී ඇත්තේ ‘ධම්මික පෙරේරායි“ යන්නයි.ධම්මික පැණිය ජනතාවගේ පැත්තෙන් අසාර්ථක විය. නමුත් කොමිස් ලැබුණ චීන එන්නත් තොගය එනතුරු ඇස්ට්‍රාසෙනිකා නොගෙන ඉන්නට විකල්පයක්වූ නිසා ධම්මික පැණිය රජයට අවාසියක් වුනේ නැත.