eknaligoda-gotabaya-court

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන් කරවීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවන් වන යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් 09 දෙනා පෙර ඇප මතම මුදා හැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල ඊයේ (23) නියම කළේය.

එමෙන්ම මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වන සුරේෂ් නමැති හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් අධිකරණය නියෝග කරන ලද්දේ අධිකරණය හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම හේතුවෙනි.



ආරක්ෂක ලේකම්වරයා වශයෙන් සිටි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සහ හමුදා බුද්ධි නිලධාරීන් සම්බන්ධයෙන් තමා මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ කළේ අසත්‍යක් බවත්, ඒ වනවිට රහස් පොලිසියේ බලකිරීම මත තමා එසේ පැවසූ බවත් ප්‍රදීප් එක්නැලිගොඩ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවෙකුවූ එකී එල්ටීටීඨ හිටපු සාමාජිකයා  ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පැවසුවේය .

මාස තුනක් රහස් පොලිසිය භාරයේ සිටි ඔහු රහස් පොලිසිය විසින් මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු එදා කරනු ලැබූ ප්‍රකාශය තමා විසින් කරනු ලැබූ අසත්‍ය ප්‍රකාශයක් බව කියා තිබේ.

තමාට එදා නිදහස් වී ගෙදර යන්නට ලැබෙන්නේ එවැනි ප්‍රකාශයක් කිරීමෙන් පමණක් නිසා තමා ඒ දේ පැවසූ බව එම සාක්ෂිකරුවා කියා තිබේ.



මීට පෙර කළ ප්‍රකාශයෙන් එම සාක්ෂිකරු පවසා තිබුනේ බුද්ධි නිලධාරීන් විසින් මෙය ආරක්ෂක ලේකම්තුමාගේ වැඩක් යැයි තමාට පැවසූ බවයි.නමුත් එවැනි දෙයක් කිසිවකු තමාට නොපැවසූ බව ඔහු දැන් පවසයි.

සංජීව මොරායස් (සභාපති), දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ නඩුව කැඳවිණි.