electricity-outage-due-to-strike

විදුලි බල මන්ඩලයේ ඉංජිනේරු වෘත්තිය සමිති සිදුකරන වැඩ වර්ජනයක් නිසා හෙට 9 බ්‍රහස්පතින්දා උදේ සිට විදුලි බල සපයුම අඩාල වේයැයි සැකයක් මතුව පවතී.




විදුලි බල සහ බලශක්ති අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීම හේතුවෙන් සැලසුම් කළ පරිදි අද (ජූනි 8) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම වෘත්තිය සමිති පවසයි. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කියා තිබේ.

“2009 අංක 20 දරන විදුලි බල පනතේ 43 වන වගන්තියේ උප වගන්ති 3ට අනුව තාක්ෂණික වශයෙන් පිළිගත හැකි ටෙන්ඩර් ඉදිරිපත් කරන ලද තැනැත්තන් අතුරෙන් අඩු ම පිරිවැයකින් සැපයිය හැකි තැනැත්තෙකු කොමිෂන් සභාවේ කැමැත්ත ඇතුව සම්ප්‍රේෂණය කිරීමේ බලපත්‍රලාභියා විසින් තෝරා ගනු ලැබිය යුතු යි.විදුලි බල පනත සංශෝධනය කිරීමට විරෝධය පළ කරනව.අපි අද රාත්‍රී 12ට සියලු ම සේවකයෝ වැඩ කරන තැන්වලින් එළියට බහිනවා. සියලු ම විදුලි බලාගාර නවතිනවා. ඒක ක්‍රමානුකූලව තමයි නවතින්නේ. හෙට උදේ වෙනකම් ම ඒක යයි. එක පාරට ම අපට නවත්වන්න බැහැ.”



මේ අතර විදුලි බල මණ්ඩලයේ ස්වාධීන ඉංජිනේරු සංගමය නමැති වෙනත් වෘත්තීය සමිතියක් අද මාධ්‍ය නිවෙදනයක් නිකුත් කරමින් ඔවුන් වැඩ වර්ජනයට එක් වන්නේ නැතැයි පවසා ඇත. රට අත්විදින බැරෑරුම් අවස්ථාව වර්ජනයකට යාම සුදුසු නැතැයි ඔවුන් දන්වා තිබේ. ඇතිවිය හැක අහිතකර බිදවැටීම් අවම කිරීමට පියවරගන්නා බවද දන්වා ඇත.

මේ අතර දහවල් ඇමතිවරයා කියා තිබුනේ වෙනත් කතාවකි. ඔහු පවසන පරිදි මෙම වර්ජනය කරන්නට යන්නේ ජනතාවගේ විදුලි බිල ඉහළ දමා වැටුප් වර්ධකයක් ලබාගන්නට බවයි.

සෑම වසර 3 කට වරක් විදුලි බල මන්ඩලයේ සියයට 25 ක වැටුප් වර්ධකයක් පැවතීමත් එය සිදුකරන්නට අර්බුදය තුළ නොහැකිවීමත් නිසා ඔවුන් විදුලි බිල වැඩි කරන ලෙස ඉල්ලා සිටින බව ඇමති කියා සිටි අතර පුනර්ජනනීය විදුලිය නිපදවීම අඩාල වන පරිදි ඔවුන් හැසිරෙන බවත් ඇමති කංචන විජේසේකර චෝදනා කළේය.
 වැඩ වර්ජනය හේතුවෙන් රටම අදුරේ තබන බවට ඉංජිනේරු සංගමයක් අනතුරු අගවා තිබුණත් රජය ඒ සම්බන්ධ අදහස් දක්වා නැත.