electricity-protest-kanchana

අද මධ්‍යම රාත්‍රියේ  සිට සියලු රාජකාරීවලින් ඉවත් ව විදුලිබල පනත සංශෝධනයට ගත් ක්‍රියාමාර්ගයට විරෝධය පල කරන බව  ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රන්ජන් ජයලාල් මහතා පවසයි.
මෙම සංශෝධනය වහා නතර කළ යුතු බව ඔවුන් පවසයි.



මේ අතර පුනර්ජනනීය බලශක්ති උත්පාදන සැලැස්ම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සහාය දක්වන තෙක් විදුලිය ගාස්තු වැඩිකිරීමේ යෝජනාව තමන් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් නොකරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් සටහනක් තබමින් අමාත්‍යවරයා සඳහන් කළේ, විදුලිබල මණ්ඩල පොදු එකඟතාවයකට අනුව සෑම වසර 03 කට වරක් සේවක වැටුප් සියයට 25 කින් වැඩි කෙරෙන බවයි.

වැටුප ගෙවීමට විදුලි ගාස්තු වැඩි කිරීම වෙනුවට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක කර උත්පාදන වියදම අඩු කළ යුතු බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එහෙත් පුනර්ජනනීය විදුලි උත්පාදන සැළසුම් ක්‍රියාත්මක නොවීම හමුවේ විදුලි උත්පාදන අධික පිරිවැය සහ සේවක වැටුප් යන සියල්ලෙහි බර දැරීමට සිදුවී ඇත්තේ විදුලි පාරිභෝගිකයන්ට බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා සඳහන් කලේය.
ඔහු මෙසේ පැහැදිලි කළේය.


    ”විදුලිබල මණ්ඩලය පසුගිය සතියේ මගෙන් ඉල්ලීමක් කළා 300% කින් විදුලි බිල වැඩි කරන්න කියලා විදුලි උත්පාදන වියදම රුපියල් බිලියන 756යි. අපිට ලැබෙන්නේ රුපියල් බිලියන 250යි. රුපියල් බිලියන 500ක හිඟයක් තියෙනවා. හැබැයි වැඩිපුර මුදලක් යන්නෙ මොකට ද ? මේ ඩීසල් බලාගාරවලට ඉන්ධන මිලදී ගැනීම සඳහා යන මුදලත් නිලධාරීන්ගේ වැටුප්වලට යන  වියදම්. සෑම අවුරුදු 3කට සැරයක්
    නිලධාරීන්ගේ වැටුප 25%කින් වැඩි කරනවා. එතකොට මේ වැඩි වෙන වැටුප්වලට ගෙවන්න ඕන මේ බිල ජනතාව මත දාලද? මම පැහැදිලිව කියනවා එැවැනි යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගේන්න මම කටයුතු කරන්නේ නෑ”