කෑම පිඟානට කිසියම් ඖෂධයක් මිශ්‍ර කර බිරිය රෝගියකු කර රෝහල් ගතකර බිරිඳගේ මව ගලපාගා ඝාතනයකර නිවසට දමා ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් මහබාගේ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මියගොස් ඇත්තේ ගඋඩපිට නිවෙසක පදිංචිව සිටි 74 වියැති ධනවත් කාන්තාවක බවත් සිය නැන්දණියගේ දේපළ ලබා ගැනීමේ අරමුණින් සැකකරු ඇය ඝාතනය කර මෙසේ නිවෙස තුළම ගිනි තබා ඇති බවට පරීක්ෂණවලදී හෙළිවූ බවද පොලිසිය පවසයි. මෙම සැකකරු එම කාන්තාවගේ දියණියගේ සැමියා බවත්, ඇගේ සැමියා මිය යාමෙන් පසු දෙවැනි වරට මෙම සැකකරු සමග විවාහ වී ඇති බවද පොලිසිය පවසයි. සැකකරු ද මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි තිදරු පියෙකු බවත්,
ඔහු පළමු විවාහයෙන් වෙන්වී මෙම කාන්තාවගේ දියණිය සමග විවාහ වී ඇතැයි පොලිසිය කියයි. වතු හිමිකරුවකු වශයෙන් පෙනී සිටියද ඔහුට කිසිදු වත්තක් හෝ වත්කමක් හෝ නොමැති බවට හෙළි වී ඇති අතර, ඔහු කිසිදු රැකියාවක් නොකර බිරිඳගේ දේපළ වලින් ජීවත් වී ඇති බවද පොලිසිය පවසයි. සැකකරු නිතර නිතර මුදල් ඉල්ලා කරදර කිරීම නිසා බිරිඳගේ මව සැකකරුගේ වියදම් සඳහා මුදල් ලබාදීම සීමා කිරීම නිසා ඔහු බිරිඳගේ මව සමග අමනාපෙන් සිට ඇති බවත් පොලිසිය පවසයි. මේ සම්බන්ධයෙන් බහින් බස් වී සැකකරු ඉකුත් දෙසැම්බරයේ මෙම නිවෙසින් අමනාප වී ගොස් ඉකුත් ජුනි 01 වැනි දා නැවතත් පැමිණ ඇති බවද පොලිසිය සඳහන් කරයි. සැකකරුගේ බිරිඳ හදිසියේම රෝගී වීම නිසා සැකකරු ඇය ඉකුත් 5 වැනිදා වත්තල ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.
දියණිය රෝගී වීම නිසා නිවසේ සිට ඇත්තේ සැකකරු සහ ඇගේ මව පමණක් බවද පොලිසිය පවසයි. ඉකුත් 6 වැනිදා රාත්‍රියේ නැන්දණිය සමග බහින් බස් වී ඇයට පහර දී ගෙල පාගා ඝාතනය කර ඇති බවත් පසුව මළ සිරුර රෙදිවල ඔතා ඇඳට දමා ගිනි තැබූ බවටත් මූලික පරීක්ෂණවලදී හෙළිවී යැයි පොලිසිය පවසයි. මෙම ඝාතනය සිදුකර සැකකරු එදින රාත්‍රියේ බිරිඳ නැවතී සිටි රෝහලට ගොස් ඇය අසල සිට ඇති බවද පොලිසිය පවසයි. ඉකුත් දින උදෑසන සැකකරු නිවෙසට පැමිණ එය සිය නිවෙසට හොරු පැන කොල්ල කා පලාගොස් ඇති බවත්, සිය බිරිඳගේ කාමරය ගිනි ගනිමින් තිබෙන බවටත් පොලිස් හදිසි ඇමතුම් අංශය (119) වෙත දැනුම් දී ඇත. එම ඇමැතුම අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් විමර්ශන ආරම්භ කර ඇත. සැකකාර බෑණා පොලිසියට සඳහන් කර ඇත්තේ අසනීපව රෝහල් ගතව සිටින බිරිඳ ළඟ සිට උදෑසන කාලයේදී නින්වෙසට පැමිණි විට නිවසේ කාමරයක් තුළ සිය බිරිඳගේ මව ගින්නට හසුවී සිටි බවය.
සැකකරුගේ බිරිඳගේ අණෑගය ද එම ගින්නට දමා තිබී ඇති අතර එහි රුපියල් ලක්ෂ 2 ට ආසන්න මුදලක් හා රන් බඩු රැසක් තිබී ඇත. ගින්නෙන් මුදල් රැසක් පිළිස්සී තිබු බවද පොලිසිය කියයි. මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ නිලධාරීන්ට ඇතිවූ සැක සහිත තැන් කිහිපයක් සම්බන්ධයෙන් කරුණු තහවුරු කර ගැනීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරු ප්‍රකාශ කර ඇත්තේ සිය බිරිඳ අසනීපකර ඇගේ මව තනිකිරිම සැළසුම් සහගතව සිදු කළ බවයි. සැකකරු බිරිඳ රෝගී කිරීමට යොදාගත් ඖෂධ වර්ගයද හඳුනා ගැනීමට පොලීසිය සමත්ව ඇත.
බිරිඳගේ මව ඝාතනය කර කිසිවක් නොදන්නා අයෙකු ලෙස රෝහලට ගොස් බිරිඳ සමග පසුදින උදෑසන තෙක් රැඳී සිට නිවෙසට පැමිණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට දුරකතන ඇමතුමක් දෙමින් රගපෑමක් කර ඇති බව ද ඔහුගේම කටඋත්තර වලින් හෙළිවී ඇතැයි පොලිසිය කියයි. නිවෙසේ අල්මාරි ඇද සොරකමක් සිදුවී ඇති අයුරු ව්‍යාජ ලෙස සකසා ඇත්තේද ඔහු බවත් සිය බිරිඳගේ අත් බෑගය ගින්නට දමා ඇත්තේ එහි මුදල් සහ රන් භාණ්ඩ ඇතැයි නොදැන බවත් අනාවරණය වී යැයි පොලිසිය පවසයි.
නිවසේ තිබුණු රුපියල් ලක්ෂ 05 ක මුදලක් සහ රන් භාණ්ඩ තොගයක්ද ඔහු විසින් සොයාගෙන ඇති අතර එම මුදල් හා රන් භාණ්ඩ ඔහු පරිහරණය කරන මෝටර් රථයේ සඟවා තිබියදී සොයා ගැනීමට පොලීසිය සමත්ව ඇත. කැලණිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත, මහබාගේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුභාෂ් ප්‍රියදර්ශන මහතාගේ උපදෙස් මත පොලිස් කණ්ඩායමක් පරික්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත්හ.
(ඉන්දිකා රාමනායක)
0 Comments