mineka-wicremasinghe-munchee-passed-away

රටේ විශාලතම බිස්කට් සහ රසකැවිලි අපනයනකරු වන සීබීඑල් සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ වරයා හා හිටපු සභාපතිවරයා වන මිනේක වික්‍රමසිංහ මහතා (86) දිවියෙන් සමුගෙන තිබේ. Munchee, Ritzbury, Lankasoy, Samaposha, Tiara සහ Cecil යන වෙළඳනාම රැසක් යටතේ දේශීය විදේශීය වෙළෙඳපොළ ජයගෙන තිබෙන සීබීඑල් සමූහ ව්‍යාපාරය මේවනවිට 'ස්පාර්' ජාත්‍යන්තර සුපිරි වෙළෙඳසල් ජාලයද ශ්‍රී ලංකාවේ නියෝජිත ලෙස පවත්වා යයි.



1968 දී ඔහු විසින් ආරම්භ කරන ලද සමූහයේ ප්‍රධානියා ලෙස වසර 48 ක් පමණ සභාපතිත්වය දැරීමෙන් පසු ඔහුගේ පුතෙකු වන රම්‍ය වික්‍රමසිංහ 2015 සිට මෙම සීබීඑල් සමූහයේ සභාපතිත්වය දරයි.

5,000 කට අධික කාර්ය මණ්ඩලයකින් යුත් සීබීඑල් අද වන විට ලංකාවට විදෙස් විනිමය උත්පාදනය කරන කීර්තිමත් නිෂ්පාදන සමූහයක් දායාද කර ඇති අතර මේ සියල්ල පිටුපස පැවතියේ මිනේක මහතාගේ අධිෂ්ඨානය, දැක්ම සහ කැපවීම බව විශ්වාසයයි.
නමසිය හැටගණන්වලදී CARE වැඩසටහන යටතේ පාසල් සිසුන්ට අධි ප්‍රෝටීන් බිස්කට් ලබාදීමේ යෝජනාවක් මිනේක වික්‍රමසිංහ අධ්‍යාපන අමාත්‍යාංශයට ඉදිරිපත් කර අනුමැතිය ලැබීමෙන් පසු එම අවස්ථාවේදී CBL සිය මෙහෙයුම් ආරම්භ කළේය. මෙම බිස්කට් පාන් පිටි, සෝයා බෝංචි තෙල්, කිරිපිටි සහ එකල පැවති අනෙකුත් සීමිත අමුද්‍රව්‍ය භාවිතයෙන් නිවස තුළම නිපදවන ලදී.

ආණ්ඩුවේ සීමා කිරීම් සහ ව්‍යාප්ති අභියෝගවලට ඔහු මුහුණදුන්නේය.
පසුව ආනයනික බිස්කට් තරඟකාරීත්වය දක්වා අභියෝග කිහිපයකට මුහුණ දුන් වික්‍රමසිංහ විපත්ති හමුවේ පසුබැස්සේ නැත. කීර්තිමත් ආයතනයක් නිර්මාණය කිරීමට උත්සාහ කළේය.

දේශීය බිස්කට් වෙළෙඳපොළෙන් 50%කට වඩා වැඩි කොටසක් අත්පත් කර ගනිමින් දේශීය වෙළෙඳපොළ ප්‍රමුඛයා බවට මේවනවිට මංචි සමූහය පත්ව ඇත. මේ වන විට රටවල් 60 කට අධික සංඛ්‍යාවකට නිෂ්පාදන අපනයනය කරන අතර රටේ විශාලතම බිස්කට් සහ රසකැවිලි අපනයනකරු වේ. Munchee, Ritzbury, Lankasoy, Samaposha, Tiara සහ Cecil යන වෙළඳනාම යටතේ බිස්කට්, චොක්ලට්, ටෙක්ස්චර්ඩ් සෝයා, ධාන්‍ය වර්ග, කේක්, කාබනික පලතුරු සහ පොල් සඳහා මෙම සමූහය වෙළෙඳපොළ ප්‍රමුඛත්වය ලබා ඇත.