“ටික් ටොක්' සමාජ මාධ්‍ය ජාලය වෙතින් හදුනාගත් බව කියන පුද්ගලයකු හමුවීමට මුලතිව් මුංකිලාරු ප්‍රදේශයේ පදිංචි 12 හැවිරිදි පාසල් දැරියක හැටන් ප්‍රදේශයට ගොස් ඇතැයි පුදුකුඩිඉරිප්පු පොලිසිය කියයි.
දැරිය නිවෙසින් අතුරුදන්වූ බවට දැරියගේ පියා පොලිසියට කළ පැමිණිල්ලකට අනුව පොලිසිය ක්‍රියාත්මක කළ විමර්ශනවලදී මෙම තොරතුරු හෙළි වූ බව පොලිසිය කියයි.මෙම පාසල් දැරිය පිළිබඳව දැරියගේ පියා විසින් 6 වැනිදා පොලීසියට දැනුම් දී ඇත්තේ දැරිය නිවෙසින් අතුරුදන්ව ඇත්තේ ලිපියක්ද ලියා මුදල් සහ ජංගම දුරකතනයද රැගෙන බවටය. දැරිය ලියන ලදැයි සැක කෙරෙන ලිපියේ සඳහන් කර ඇත්තේ තාත්තේ මට සමාවෙන්න. මම මේ ගෙදර දාලා යනවා. මා හොයන්න මහන්සි වෙන්න එපා අවශ්‍ය නම් මේ අංකයට ඇමතුමක් දෙන්න යනුවෙන් දුරකතන අංකයක්ද සඳහන් කරමිනි. දැරියගේ පියා ඇතුළු පොලීසිය එම දුරකතන අංකයට පෙරේදා (6) වැනිදා සිට ඇමතුම් ලබාගත්තද එය ක්‍රියා විරහිත කොට තිබීම හේතුවෙන් සම්බන්ධ කරගැනීමට නොහැකි වී ඇති අතර ඊයේ (7 වැනිදා) වන විට දැරිය සම්බන්ධ කරගැනීමට හැකි වූ බවට පොලීසිය පැවසීය.
දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව පාසල් සිසුවිය ගොස් ඇත්තේ හැටන් ප්‍රදේශයට බවටත් සමාජ මාධ්‍ය ජාලයක් වන ටික් ටොක් වෙතින් කිසියම් පුද්ගලයකු දැන හැඳින ඇති වූ සම්බන්ධතාවක් මත ඔහු හමුවීමට බවට සැක කරන බවද පොලීසිය පැවසීය. දැරියගේ පියා ඇතුළු ඥාතීන් දැරිය සොයා ඊයේ (7 වැනිදා) නැවත නිවෙසට රැගෙන ඒමට කටයුතු යොදා ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් සියලු පාර්ශවලට උපදෙස් ලබාදී පරික්ෂණයක් සිදුකිරිමට පියවර ගන්නා බවද පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුරටත් පැවසීය.
0 Comments