neluwa-incident

ගාල්ල නෙළුව නගරයේ පාළු නිවසකදී පොලිස් කොස්තාපල්වරයකුගේ රාජකාරි ගිනි අවිය උදුරා ගැනීමට තැත්කළ පුද්ගලයකු එම ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් වඩි වැදී මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්ලුව මහතා පැවැසීය.  මියගිය පුද්ගලයා මත්කුඩු ජාවාරමේ  නිරතවන්නකු බව ද පොලීසිය කියයි. ම

ෙම සැකකරු තවත් පුද්ගලයන් තිදෙනකු සමග නෙළුව නගරයට ආසන්න පාළු නිවෙසක රැඳී සිටිමින් මත්කුඩු ජාවාරමේ නිරත වන බවට නෙළුව පොලීසියට පෙරේදා (18 වැනිදා) ලැබුණු තොරතුරු මත පොලිස් නිලධාරීන් එම නිවෙස වැටලූ අවස්ථාවේ සැකකරුවන් මක්කුඩු පානය කරමින් සිටි බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. පොලිස් නිලධාරින් නිවෙස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ සැකකරු පොලිස් කොස්තාපල්වරයාගේ රාජකාරී පිස්තෝලය උදුරා ගැනීමට තැත් කර ඇති බවත්, එය බේරා ගැනීම සඳහා කොස්තාපල්වරයා සැකකරු සමග පොර බැදීමේදී ගිනි අවිය පත්තු වී ඇති බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි. සැකකරුගේ පපු ප්‍රදේශයට වෙඩි වැදී ඇත.



සිද්ධිය වන අවස්ථාවේ සෙසු සැකකරුවන් තිදෙනා නිවෙසින් පලාගොස් ඇති බව ද පොලිස් ආරංචිමාර්ග කියයි. සිද්ධියෙන් වෙඩි වැදී මියගොස් ඇත්තේ, මොරවක කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි රවීන් රංග රන්දෙණිගල (29) නමැති තරුණයකු වන අතර, මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම  සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ඇති බවත්, තවත් පොලිස් ස්ථාන කිහිපයක ඔහුට එරෙහිව පැමිණිලි ඇති බවට තොරතුරු ලැබීම ඇති බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි. උඩුගම මහේස්ත්‍රාත් එච්.එම්.එස්. බණ්ඩාර මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ ස්ථානීය පරීක්ෂණය කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නියෝග පරිදි, ගාල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි උපුල් සෙනවිරත්න මහතා පරීක්ෂණ ආරම්භ කර ඇති බව ද පොලීසිය කියයි.