වයස අවුරුදු 12 සිට 66 දක්වා කාලය අතරතුර විවාහයන් 78 ක් සහ ඒ අතර කාලයේ තවත් ස්ත්‍රී දූෂණහා අපචාර රැසක් සිදු කළ ඇමරිකානු පූජකයෙකු වන වොරන් ජෙෆ්ස් මේ වන විට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටියි.
මෙම පුද්ගලයා ගැන කාලයක් මාධ්‍ය තුළ පුවත් නිර්මාණය වූ අතර නැවත ඔහු ගැන කතාබහක් ඇරඹී ඇත්තේ Netflix විසින් ඇමරිකාවේ ඊනියා 'දේවදූතයෙකු' යයි දක්වමින් ඔහු පිළිබඳ වාර්තා චිත්‍රපටයක් නිර්මාණය කිරීම නිසාය.
‘කිප් ස්වීට් ප්‍රේ සහ අබේ’ නම් වූ මෙම වාර්තා චිත්‍රපටයේ ඔහුගේ අපරාධ අධිරාජ්‍යය පිළිබඳ කතාබහ ඇතුළත්ය.
66 හැවිරිදි වොරන් ජෙෆ්ස් මේ වන විට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටින අතර තරුණ ගැහැණු ළමයින් සිය ගණනක් ලිංගික අපයෝජනය කිරීම වැනි බරපතල නඩු වලට ඔහු වැරදිකරු වී ඇත. නමුත් ඔහුගේ වචන ඇතැමුන් ගත්තේ දේව භාසිත හැටියටය. මිනිස්සු ඔහුව දෙවියන්ගේ පණිවිඩකරුවෙකු ලෙස සැලකූහ. ඔහු කියන ඕනෑම දෙයක් කිරීමට සූදානම් විය.
සිරගත වන්නට පෙර වොරන් ජෙෆ්ස් තමාගේම පල්ලියක් පවත්වාගෙන ගියේය. ඔහුට තම පියාගෙන් උරුම වූ පූජක පදවිය ඔහු අවභාවිතාවේ යෙදවීය.
ක්‍රමක්‍රමයෙන් ඔහු පල්ලිය අශික්ෂිත ගුහාවක් බවට පත් කළේය. ඔහුගේ ආශ්රමයේ මිනිසුන් දහසක් දක්වා ජීවත් වූ කාලයක් තිබුණි. මෙයින් විශාල පිරිසක් කාන්තාවන් සහ ගැහැණු ළමයින් විය. ඔහු නිල වශයෙන් විවාහ 78ක් කර ඇත. ඔහුගේ වර්තමාන භාර්යාවන් 25 දෙනාගේ වයස අවුරුදු 12 සිට අවුරුදු 17 දක්වා විය.
මොහු අපරාධ සිදු කළත් එය කවුරුත් අපරාධ ගණනට දැම්මේ නැත නමුත් ඔහුට වැරදුනේ එක් අයෙකු නිසාය.
බ්‍රියෙල් විවාහ වූයේ වයස අවුරුදු 18 දීය. එවිට වොරන් 50 හැවිරිදි වයසේය. ඇය මේ කාමුක ගුරුවරයාගේ 65 වැනි බිරිඳයි. නමුත් පසුව කෙසේ හෝ ඇය මේ අපායෙන් මිදී වොරන්ගේ පාපය හෙළි කළාය. ‘ද සන්‘ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බ්‍රියෙල් පැවසුවේ වොරන් ඔහුගේ පල්ලියේදී අවුරුදු 5 ක් තරම් කුඩා ගැහැණු ළමයින් පවා අපයෝජනයට ලක් කළ බවයි.
කලක් තමාගේම අධිරාජ්‍යයක් ගෙන ගිය වොරන් දැන් සිටින්නේ සිරගෙයක පිටුපස කාමරයකය. ඔහු පළමු වරට අත්අඩංගුවට ගනු ලැබුවේ 2006 වසරේදීය. 2011 දී ගැහැණු ළමයින් ලිංගික අපයෝජනය කිරීමේ වරදට ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය.
වොරන් කිහිප වතාවක්ම සිරගෙදරදී සියදිවි නසා ගැනීමට පවා තැත් කර ඇත. ඔහු නූලෙන් එල්ලී සියදිවි නසා ගැනීමට තැත් කළේය. එය අසාර්ථක වූ විට ඔහු කන බොන එක නතර කළේය. නමුත් සිරගෙදරදී ඔහුට බලහත්කාරයෙන් ආහාර ලබාදී ඇති අතර ඔහු තවම ජීවත්වේ.
0 Comments