දිවයිනේ සියලුම පොලිස් ස්ථානවල පොලිස් ස්ථානාධිපති (OIC) තනතුරු සදහා අයැදුම්පත් බාර ගැනීම ලබන 17 වැනිදා අවසන් වන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ආරංචිමාර්ගවලින් පැවසේ. පොලිස් ස්ථානාධිපතිවරුන් විධිමත් පරිදි අලුතින් පත්කිරීමට අවශ්‍ය කටයුතු කරන්නැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිය තනතුරේ රාජකාරි ආරම්භ කළ දිනයේම පොලිස්පතිවරයාට නියෝග කළේය.
පොලිස් ස්ථානාධිපතිවරුන් සඳහා අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කෙරුණේ ඒ අනුවය. සෑම පොලිස් ස්ථානයක් සඳහාම පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමට අලුතින් අයැදුම්පත් කැඳවන ලෙසත් එහිදී වඩාත් සුදුසු නිලධාරින් තෝරා ගැනීම සඳහා අනුගමනය කරනු ලබන ලකුණු දීමේ ක්‍රියාපටිපාටිය ප්‍රසිද්ධියට පත් කරන ලෙසත් අමාත්‍යවරයා, පොලිස්පතිට වැඩිදුරටත් උපදෙස් දී තිබිණි.
ඒ අනුව දැනට පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරික්ෂකවරුන් (CI) මෙන්ම අනෙකුත් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට ද අලුතින් අයැදුම්පත් ඉදිරිපත් කරන ලෙස පොලිස් මූලස්ථානය දැනුම් දුන්නේය. ඒ අනුව පොලිස් ස්ථානාධිපති තනතුරු සඳහා මේ වනවිට අයැදුම්පත් රාශියක් ලැබී ඇතැයි වාර්තාවේ.
විෂයභාර අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ දිවයිනේ සෑම පොලිස් ස්ථානායක් සඳහාම අලුතින්ම පොලිස් ස්ථානාධිපතිවරුන් පත්කිරීමට තීරණය කර ඇත්තේ, අදාළ බල ප්‍රදේශයේ දේශපාලන නායකත්වයේ නිර්දේශය මත කිසිදු සුදුසුකමක් නොමැති පොලිස් ස්ථානාධිපතිවරුන් රැසක්ම පත්කර ඇතැයි නැගුණ චෝදනා සලකා බලමිනි.
-සුජිත් හේවාජුලිගේ-
0 Comments