police-attanayake-murder

පෑලියගොඩ ගුරුකුල විද්‍යාලය අසලදී පසුගිය 26 දා රාත්‍රියේ නාඳුනන  පුද්ගලයකු විසින් වෙඩි තබා ඝාතනය කළ හිටපු පොලිස් කොස්තාපල් මහා පරිමාණ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනකුගෙන් මන්දුව්‍ය ලබාගෙන අලෙවි කළ අයෙකු බවත් ඔහු එම මත්ද්‍රව්‍යවලට මුදල් ගෙවිය යුතු ලක්ෂ ගණනක මුදලක් නොගෙවා මග හරිමින් සිට ඇති බවටත් තොරතුරු ලැබී තිබෙන බව පොලිසිය පවසයි.   ඩුබායි රටට පලාගොස් සැඟව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකුට මත්ද්‍රව්‍ය සඳහා ලක්ෂ 40ක් ද කොළඹ ප්‍රදේශයේ සිටින මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුට ලක්ෂ අටක් හා ගල්මුල්ල ප්‍රදේශයේ මන්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙකුට ලක්ෂ 20ක මුදලක් ද මෙම හිටපු පොලිස් කොස්තාපල්වරයා නොගෙවා පැහැර හැර තිබූ බවට වැඩිදුරටත් තොරතුරු ලැබී තිබෙන බව පොලිසිය කියයි.



මේ හේතුව මුල්කරගෙන එම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පාතාලයට ලබාදුන් කොන්ත්‍රාත්තුවක් මත මෙම හිටපු පොලිස් කොස්තාපල් ඝාතනය කරන්නට ඇති බවට මේ සම්බන්ධව පරික්ෂණ පවත්වන පොලිස් කණ්ඩායම සැක කරයි. මෙසේ ඝාතනය කර තිබුණේ අරුණ අත්තනායක හෙවත් ‘පොලිස් අත්තනායක‘ ලෙස හැඳින්වෙන පුද්ගලයෙකි.  වයස අවුරුදු 2 ක් පමණ වන සිය පුතාට රඹුටන් මිලදී ගෙන එම දරුවා ද සමග යතුරු පැදියෙන් නිවෙස බලා යමින් සිටිය දී පෑලියගොඩ ගුරුකුල විද්‍යාලය අසල දී යතුරු පැදියකින් ආ පුද්ගලයන් දෙදෙනකු විසින් මොහුට වෙඩි තබා පලාගොස් තිබිණි. පොලිස් අත්තනායක නමැත්තා ඉලක්ක කර තැබූ වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ පුත්‍රයා ද තුවාල ලබා කොළඹ රිජ්වේ ළමා රෝහලට ඇතුළත්කර ඇති අතර වෙඩි ප්‍රහාරය සිදුවූ ස්ථානය අසල පිහිටි රූපලාවන්‍යාගාරයක සේවය කරන රූපලාවන්‍ය ශිල්පිනියක් ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් පසුවන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

රූපලාවන්‍ය ශිල්පිනියකගේ එක් පාදයකට වෙඩි වැදීමෙන් තුවාල සිදුවී  ඇති බවද පොලිසිය සඳහන් කරයි.

වෙඩිකා මියගිය අත්තනායක නමැති  මෙම හිටපු පොලිස් කොස්තාපල්  රැකියාව කරන වකවානුවේ 2015 වසරේ දී ඩී. මංජු නමැති පාතාල නායකයාට වෙඩි තැබීමට ගිය වෙඩික්කරු යතුරු පැදියක තබාගෙන රැගෙන ගියේ යැයි කියමින් පොලිසිය මොහු අත්අඩංගුවට ගෙන තිබෙන බව ද පොලිසිය කියයි. මොහු පදවාගෙන ගිය බව කියන යතුරු පැදියේ ගිය වෙඩික්කරුවෙක් ඩී. මංජු නමැත්තාට වෙඩි තැබූ අවස්ථාවේ මංජු  නමැත්තාට බරපතළ තුවාල සිදුවී තිබිණි.

2019 වසරේදී ඩී. මංජු නමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති වූ වෙඩි හුවමාරුවක දී වත්තල ප්‍රදේශයේ දී මැරුම්කා තිබිණි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අත්තනායක නමැත්තා වැඩ තහනමකට ද ලක්විය. හෙරොයින් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 15ක් සන්තකයේ තබාගෙන ජාවාරම්ක කළේ යැයි කියමින් සහ අත් බෝම්බයක් ළඟ තබාගෙන සිටි බව කියමින් පොලිස් අත්තනායක 2019 වසරේ අවස්ථා දෙකකදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව කාලයක් රිමාන්ඩ් බාරයේ ද සිට ඇති බව විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීය. පොලිස් අත්තනායක නමැත්තාට වෙඩි තැබූ ස්ථානයේ හිස් උඩ 06ක් සහ ජීව උණ්ඩයක් ද වැටී තිබී පොලිසිය බාරයට ගෙන ඇත.  යතුරු පැදියකින් පැමිණ මොහුට වෙඩි තබා ඝාතනය කර පලාගිය දෙදෙනා ගැන මෙතෙක් කිසිදු තොරතුරකු පොලිසියට ලැබී නොමැත.

 (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)