සමනාමයං මහ රාජ ධම්මරාජස්ස ශ්‍රාවක
තමේව අනුකම්පාය ජම්බුදීපා ඉධාගථා
"මහ රජ අප ශ්‍රමණයන් වම්හ. ධර්ම රාජ්‍යයන් වහන්සේගේ ශ්‍රාවකයන් වම්හ. තොප කෙරෙහි අනුකම්පාවෙන් යුතුව , ජම්බුද්වීපයේ සිට පැමිණියෙමු”
අඹතලා (මිහින්තලා) පව්ව මතින් ඒ නිවුන හඬ අපේ රට තුළ නව ශිෂ්ටාචාරයක් ගොඩ නගන්නට සමත් විය. නව යුගයක් උදා කරන්නට සමත් විය. දඩ කෙළියේ යෙදුණු ලක් බිමේ මහ රජු වූ දෙවන පෑතිස් රජුට මිහිඳු මාහිමියන් ප්‍රමුඛ පිරිස හමු වූ ඒ ඓතිහාසික මොහොත උදාවන්නට හේතු වූයේ භාරතයේ සිදු වූ ආගමික හා චින්තන පෙරලියයි. කාලිංග යුද්ධයේ දී තමන් අතින් සිදු වූ මහා මනුෂ්‍ය ඝාතනයෙන් කම්පාවට පත්ව සිටි අශෝක අධිරාජ්‍යයා නීග්‍රෝධ නම් කුඩා සාමනේරයන් වහන්සේගෙන් බණ අසා, බුදු දහම වැළඳ ගත්තේ එහි අගය මනා ලෙස වටහා ගනිමිනි. එතෙක් චන්ඩාශෝක ලෙස නම් දැරූ ඔහු දැහැමෙන් සෙමෙන් රට පාලනය කරන නරපතියෙකු බවට පත්වෙමින් ධර්මාශෝක ලෙස නම් විය.
බුදු දහම ලොව පුරා ප්‍රචලිත කිරීමේ අදහස පෙර දැරි කරගත් ධර්මාශෝක අධිරාජයා විවිධ ප්‍රදේශවලට මහ රහතුන්-උගත් භික්ෂූන් පිටත් කොට ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා යෙදවී ය. ඒ වන විට ලක්බිම පාලනය කල
දෙවන පෑතිස් රජු අතර දැඩි මිත්‍රකමක් ඇති වී තිබුණි. ලක්බිම ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා තම පුත් වන මිහිඳු මහ රහතන් වහන්සේ ප්‍රමුඛ කොට ගත් පිරිසක් ලක්බිම කරා එවන්නට අශෝක අධිරාජ්‍යයා අදහස් කලේ මේ මිත්‍රත්වය නිසා ම බැව් පෙන්නේ. ධර්මාශෝක අධිරාජ්‍යයා සහ ලංකාවේ මහ රජු වන දෙවන පෑතිස් රජු අතර පැවති රාජ්‍යමය සහ විදේශ සබඳතා හේතුවෙන් ධර්මාශෝක රජුගේ එකම පුත් මහින්ද මහරහතන් වහන්සේ බුදු දහම ලක්බිමෙහි ප්‍රචාරය කිරීම සඳහා පැමිණි මේ පොසොන් මස පුර පසළොස්වක පොහෝ දිනය ලක් බිමෙහි පූර්ණ රාජානුග්‍රහය යටතේ බුදු දහම ස්ථාපනය වන්නට ද නව ශිෂ්ටාචාරයක් නව සභ්‍යත්වයක් ගොඩ නගන්නට ද හේතු වූ බැවින් ලංකාවාසී බෞද්ධ ජනතාවට සුවිශේෂි දිනයක් විය.
මහින්ද මහරහතන් වහන්සේ ලක්බිමට පැමිණියේ තනිවම නොවේ. ලක්බිමෙහි භික්ෂු ශාසනය පිහිටුවීමේ අදහසින් උට්ඨිය, ඉත්ථිය, සම්භල, භද්දසාල යන භික්ෂූන් වහන්සේලා සිව් නම ද ලක්බිමෙහි දී උපසම්පදා කර්මය ඉටු කිරීමේ මංගල අවස්ථාව සම්පූර්ණ කිරීමේ අදහසින් උපසපන් නොවුණු සුමන නම් සාමණේරයන් ද, ලක්දිව උපාසක පිරිසක් ගොඩ නැංවීම සංකේතවත් කරමින් භණ්ඩුක නම් උපාසක තෙමේ ද මෙම කණ්ඩායමට අයත් විය.
අඹ උයනකින් සෑදුණු ගිරි ශිඛරයක් මහයින් අම්බස්තලය නමින් ද මිස්සක නමින් ද හැඳින් වුණු ගල මුදුනේ දී දෙවන පෑතිස් රජුට මේ සුවිශේෂ පිරිස මුණ ගැසිනි. (අද මෙම භූමිය මිහින්තලා පව්ව ලෙස නම් වන්නේ මහින්ද මහ රහතන් වහන්සේ උපහාර පිණිස නම් කොට ඇති නිසාය) මහාවංශයේ ඒ කතාව විස්තර කර ඇත්තේ මේ ආකාරයටය. "ඒ දෙවන පෑතිස් රජ නුවර වැසියන්ට දිය කෙළි විධාන කොට තෙමේ මුව දඩ කෙළියට ගියේ ය. සතළිස් දහසක් මිනිසුන් පිරිවරණ ලදුයේ පයින් ම දුවමින් මිස්සක පර්වතයට ගියේ ය. ඒ පවෙහි වසන දෙවියා රජ හට තෙරුන් දක්වනු කැමැත්තෙන් ගෝණ වේශ ඇත්තේ තණ පඳුරක් කමින් සිටියා සේ දැක්වීය.
රජ තෙමේ දැක 'පමා වූවහු විදිනට යුතු නොවේ' යි සිතා දුණු දිය හෙළීය. ගෝණ තෙමේ පර්වතාන්තරයට දිවීය. රජ තෙමේ ලුහු බැඳ ගියේ ය. මෘග වෙස් ගත් ඒ දෙවි තෙමේ තෙරුන් වෙත ගොස් රජු විසින් තෙරුන් දුටු කල අතුරුදහන් විය. ස්ථවිර තෙමේ ඔහුට එව තිස්ස' යි වදාළ සේක. තිස්ස යන බසින් ම රජ තෙමේ යක්ෂ යෙකැයි සිතී ය. එවිට මිහිඳු හිමියන් සමනාමයි මහාරාජ යයි අමතා තමන් ගැන විස්තර කළේ ය.
'මහරාජණෙනි, අප ධර්ම රාජයන් වූ බුදුන් සව් ශ්‍රමණයම්හ, තොපට අනුකම්පි පිණිස දඹදිව සිට මෙහි ආම්හ 'යි වදාළ සේක. ඒ අසා රජ තෙමේ මහත් බිය ඇත්තේ විය. යහළුවාගේ හසුන් මෙනෙහි කොට ශ්‍රමණයෝ යයි නිශ්චිත කරන ලදුයේ දුනු හී දමා ඒ තෙරුන් වෙත එළඹ උන්වහන්සේ වෙත හිඳගත.මෙහි දැක්වෙන ආකාරයට මහින්ද මහ රහතුන් වහන්සේ ලක්දිවට පැමිණෙන බව ධර්මාශෝක රජතුමා හසුන්පත් එවා දෙවන පෑතිස් රජුට දන්වා තිබූ බව ද පැහැදිළි වේ. බුදු දහම ගැඹුරු වෙයි. දෙවන පෑතිස් රජුට තම ධර්මය අවබෝධ කොට ගත හැකි වේද යන්න මහින්ද මහ රහතුන් වහන්සේ සැකයක් විය. එබැවින් එතුමන් දෙවන පෑතිස් රජුගෙන් අඹ වනයෙහි වූ අඹ ගස් පිළිබඳ ප්‍රශ්න කිහිපයක් අසා සතුටට පත්ව එම සැකය දුරු කර ගත් ආකාරය මහා වංශයෙහි සඳහන් වන්නේ මේ අයුරිනි.
මිහිඳු හිමියන් - මහ රජාණෙනි, මේ රුක කිනම් ද?
රජු - මේ තුර අඹ නමි.
මිහිඳු හිමියන් - මේ හැර අඹ රුකෙත් ඇද්ද?
රජු - බොහෝ අඹ තුරු ඇත්තාහ.
මිහිඳු හිමියන් - මේ අඹ තුර ද ඒ අඹ තුර ද හැර වෙන තුරු ඇත් ද?
රජු - වහන්ස බොහෝ තුරු ඇත්තාහ. ඒ අඹ තුරු නොවෙති.
මිහිඳු හිමියන් - ඒ අඹත්, නො අඹත් හැර වෙන තුරු ඇද්ද?
රජු - ස්වාමිනි, මේ අඹ තුර ඇත.
රජුගෙන් මෙවැනි ප්‍රශ්න අසා සැක පහ කොට ගත් මහින්ද මහ රහතන් වහන්සේ රජු ඇතුළු සතළිස් දහසක පිරිසකට 'චුල්ල හත්ථි පදෝපම” සූත්‍රය දේශනා කොට සිත් පහදවා පන්සිල් හි පිහිටුවවා තුරුණුවන් සරණ ගිය බෞද්ධ උපාසක පිරිසක් බවට පත් කළ බව කියැවේ.
මහින්දාගමනයට පෙර ලක්බිම
ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී එනම් ක්‍රිස්තු පූර්ව 247 වන වසරේ දී බටහිර ඉන්දියාවේ අවන්ති දේශයේ චේතිය ගිරි නුවරින් පිටත්ව මහින්ද මාහිමියන් ප්‍රමුඛ පිරිස ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා ලක්බිමට වැඩම කළහ. ලක්බිම බුදු සසුන රාජානුග්‍රහය යටතේ සැලසුම් සහගතව පිහිටුවනු ලැබූ සුවිශේෂ අවස්ථාව මෙය වුවද මින් පෙර බුදු දහම ඇදහුවන් ලක් බිමේ කොතෙකුත් සිටින්නට ඇත.
බුදුන් වහන්සේ ජීවමාන සමයේ කේන්ශ ධාතු රැගෙන ආ ලක්බිමේ වෙඳුන් වන තපස්සු භල්ලුක දෙදෙන ගිරිහඬු සෑය ගොඩ නැගු බව ඓතිහාසික තොරතුරුවලින් හෙළිදරව් වේ. ඒ අනුව පළමු ලාංකීය බෞධෝපාසකයන් ලෙස හැඳින්විය හැක්කේ ඒ වෙළෙඳ සොයුරන් ය.
බුදුරජාණන් වහන්සේ තෙවරක් ලක් බිමට වැඩම කළහ. පළමු වරට මහියංගනයේ මනා වාලුකා නදී හෙවත් මහවැලි නදිය අසබඩ වූ යක්ෂයින්ගේ මහා නාග වනය නම් ලනුව ද දෙවන වර නාගදීපයට ද තෙවන වර මණිඅක්ඛිත නා රජුගේ ඇරයුමින් කැලණියට ද වැඩම කළ අතර කැලණියට වැඩම කළ ගමනේ දී සමනල පව්ව, කතරගම, දිගාමඬුල්ල ආදී ප්‍රදේශවල සංචාරය කරමින් දහම් දෙසූ බව මහාවංශයේ සඳහන් වෙයි. උන්වහන්සේගෙන් බණ අසා මාර්ගඵලාදිය අවබෝධ කරගත් පිරිස් ද තිසරණ සරණ ගිය පිරිසක් ද මහින්දාගමනයට පෙර ලක් බිමෙහි සිටින්නට ඇත. එහෙත් සංවිධානාත්මක ලෙස රාජානුග්‍රහය ලැබ බුදු සසුන ස්ථාපනය කිරීමත් ඉන් පෙර සිදු නොවූ බැවින් මහින්දාගමනය ලාංකික බෞද්ධයනට අතිශය වැදගත් දිනයක් ලෙස සැලකිය හැකි ය.
බුදු දහම පමණක් නොව මහින්දාගමනයට පෙර ලංකාවේ බොහෝ ඇදහිලි ව්‍යාප්තව තිබුණු බව පෙන්නේ. වෘක්ෂ වන්දනාව සහ මළවුන් ඇදහීම, යක්ෂ, නාග, දේව වන්දනා හිරු ඇදහීම රාවණ යුගයේ සිට පැහැදිළිව ම පැවති ශිව, පශුපති, අගස්ති වැනි දේවාත්ම ඇදහීම මෙහි පැතිර තිබුණු බව ඓතිහාසික තොරතුරු අනුව පැහැදිළි වේ. මෙම ඇදහීම් සංවිධානාත්මක නොවූ බැවින්ද පුර්ණ රාජානුග්‍රහය යටතේ ව්‍යාප්ත ව නොතිබීම ද නිසා ද බුදු දහම ලක්බිම ස්ථාපනය කිරීම ඉතා පහසු විය. දෙවන පෑතිස් රජුගේ බෑණනුවන් වූ මහා අරිට්ඨ කුමරු ඇතුළු විශාල පිරිසක් මහණවීම ද බුදු දහමට ලැබුනු විශාල අනුග්‍රහයක් විය.
බුදු දහම ලංකාවේ ස්ථාපිත වීම
මහා අරිට්ඨ කුමරු ඇතුළු පිරිසගේ බුද්ධ සාසනයේ පැවිදි වීමත් සමග ම දෙවන පෑතිස් රජුගේ බිසව වූ අනුලා දේවිය ප්‍රමුඛ කාන්තාවේ භික්ෂුණී සාසනයක් ආරම්භ කරන ලෙස මිහිඳු හිමියන්ගෙන් ඉල්ලා සිටියහ. ධර්මාශෝක රජුගේ එක ම දියණිය වූ එවකට සසුන්ගතව සිටි සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ පිරිසක් ලක්බිමට සැපත්ව භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම සිදු වූයේ එබැවිනි. සඟමිත් තෙරණිය බුදුන් වහන්සේ බුද්ධත්වයට පත් මොහොතේ සෙවන දුන් ජය ශ්‍රී මහා බෝධීයේ දක්ෂණ ශාඛාව ද ලක් බිමට වැඩමවන ගැබ අතර බුදු දහමේ ලක්බිමේ ස්ථාවර වන්නට එය එක් හේතුවක් විය. ක්‍රිස්තු පූර්ව 247 වසරේ උඳුවප් මස පුර පසළොස්වක පොහෝ දින සංඝමිත් තෙරණිය ජය ශ්‍රී මහා බෝධී ශාඛාව ද රැගෙන දඹකොළ පටුනට ගොඩ බට අතර දේවානම්පියතිස්ස රජු මහ පිරිවරින් බෝධීන් වහන්සේ වැඩමවාගෙන පැමිණ එය මහ මෙවුනා උයනෙහි රෝපණය කළ බව මහාවංශයේ සඳහන් වේ.
පොසොන් පොහෝ දිනය නිමිති කොට සිදු වූ මේ සුවිශේෂ ශාසනික, ආගමික හා සංස්කෘතිකමය ක්‍රියාදාමය ලක්බිමේ දියුණුවට මහත් සේ උපකාරි වූ බව පෙනේ. අනුලා දේවියගෙන් ඇරඹුණු භික්ෂුණී ශාසනය ලක් බිම කාන්තාවන්ගේ විමුක්තිය සඳහා මහත් පිටුවහලක් විය. එදා යුගයේ ලක් බිමේ භික්ෂුණීන් විසි දහසක් පමණ වැඩ වාසය කළ බව දීපවංශය පවසයි. සංඝමිත්තාවන් රැගෙන ආ බෝධි අංකුරය සමඟ එයට සේවය කිරීම සඳහා සුවිශේෂ පිරිසක් භාරතයෙන් පැමිණි බව මහාවංශය සඳහන් කරයි. ඒ මිහිපති වු මහරජ තෙම (ධර්මාශෝක) මහ බෝ රක්නා පිනිස අටලොස් කුලයක දෙවියන් ද, අටලොස් කුලයක ඇමතියන් ද, අට කුලයක බමුණන් ද, අට කුලයක කෙළෙඹියන් ද, ගොපළු කුලයන් හා තරස් කුන් ද කජු ) කුලයන් සේම පෙනෙර කුලයන් ද, කුඹුල් කුලයන් ද, සියලුම සේනා සම්බන්ධ කුලයන් ද, නාග, යක්ෂ කුලයන් ද අට අට දී අභිමතදායී වූයේ රන් රිදී මහා කලයන් අට අට දී ගංගා නම් නදියෙහි සරසන ලද නැවට මහා බෝධිය නංවා එකොළොස් නමක් මෙහෙණින් සහිත වූ සංඝමිත්තා නම් මහ තෙරණිය ද එසේම අරිට්ඨ කුමරාදීන් ද නැව් නංවා....'
මහාවංශයට අනුව ලංකාවට වැඩම වූ ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව වැඩම වීමේ දී ශිල්පීන්, උගතුන්, ආරක්ෂකයින් යනාදී විවිධාකාර සේවාවන් සඳහා අවශ්‍ය වන්නා වූ සේවක පිරිස් ධර්මාශෝක රජු විසින් ලක්බිමට එවූ බව පැහැදිළි වේ. ඒ අනුව මෞර්ය යුගයේ භාරතයේ පැවති ශිල්ප ශාස්ත්‍ර මහින්දාගමනය හේතුවෙන් ලක්බිමට ලැබුණු අතර එයින් වේගවත් පරිවර්තනයක් ලංකාව තුළ සිදුවන්නට ඇති බව විශ්වාස කළ හැකි ය. ලක්බිමට සාහිත්‍යය ගෘහ නිර්මාණ ශිල්පය, අධ්‍යාපනය, පුද පූජා උත්සව, මූර්ති කලාව, චිත්‍ර ශිල්පය වැනි අංශයන්හි නව දියුණුවක් ඇති වීමට අමතරව බ්‍රාහ්මීය සමානාත්මතාව, සමගිය වැනි ගුණ ධර්ම ප්‍රගුණ වීම ද, භික්ෂුණී සාසනය හේතුවෙන් ලාංකික කාන්තාවන්ට සමාජීය නිදහස ලැබීම ද, රාජ්‍යත්වය පවත්වාගෙන යාම සඳහා දස රාජ ධර්මයන් හිමිවීම ද, පේෂකාර, කුම්භකාර, මණිකාර, කම්මකාර වැනි ශිල්පීන් නිසා කර්මාන්ත අංශයේ දියුණු ඇති වීම, වැනි කරුණු රැසක් පොසොන් පොහොය දිනයේ සිදු වූ මහින්දාගමනයෙන් අපට හිමි වූ බව පිළිගත හැකි ය.
එකල භාරතය ලෝකයේ දියුණුම රටක් ලෙස පැවති සමයකි. එම නිසා මෞර්ය යුගයේ පැවති ශිල්ප ශාස්ත්‍ර සහ අනේක විධ විද්‍යාවන් ද ආගමික, සංස්කෘතික හා සමාජීය දියුණුවේ අභ්‍යාසය අප ඇතුළු ලෝකයේ බොහෝ රටවලට හිමි වූයේ අශෝක අධිරාජයාගේ මෙම ධර්ම ප්‍රචාරක ව්‍යාපාරය නිසා බව කිව යුතු වේ. දේවානම්පියතිස්ස රජුට මිහිඳු මාහිමියන් හමු වූ මිස්සක පබ්බත, අම්බස්ථලය සහ මිහින්තලය ලෙසින් හැඳින්වෙන පූජනීය ස්ථානය පොසොන් පොහොය උත්සවයේ බෞද්ධ බැතිමතුන්ගේ භක්තියට ගෞරවාදරයට ලක්වන පින් බිමක් බවට පත්වන්නේ ඉහත දක්වන ලද හේතු නිසාවෙනි. දෙවන පෑතිස් රජුගෙන් පසු සිටි බොහෝ බෞද්ධ රජවරු මිහින්තලය ආශ්‍රිතව විහාරාරාම , චෛත්‍ය ආදිය ගොඩනගමින් පුද පූජා පවත්වමින් එදා මිහිඳු හිමියන් ලක්බිමට රැගෙන ආ ආගමික සංස්කෘතික නවෝදය තවත් වර්ධනය කළ බව අවබෝධ කරගත හැකි ය.
සේල චෛත්‍යය
බුදු රජාණන් වහන්සේ තෙවන වර ලංකාවට වැඩම කළ අවස්ථාවේ මිහින්තලාවේ සේල චෛත්‍ය පිහිටුවන ලබන ස්ථානයට වැඩම කොට සමවත් සුවෙන් වැඩ සිටි බව මහා වංශයේ සඳහන්වේ. මේ සෛල චෛත්‍ය දේවානම්පියතිස්ස රජුට මහින්ද මහ රහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස හමු වූ ස්ථානයේ ගොඩ නගා ඇති බව ඓතිහාසික තොරතුරුවලින් කියැවේ. මෙය කුටකණ්ණ තිස්ස රජු විසින් කරවන ලද චෛත්‍යයක් බව ද මහාවංශයේ සඳහන්ව ඇත. සොළොස්මස්ථාන ස්ථානයන්ගෙන් එකකි. වෙසක් උත්සවය පොදුවේ ලෝකවාසී බෞද්ධ බැතිමතුන් හැම දෙනාට ම වැදගත් වන අතර පොසොන් දිනය සමස්ථ ලාංකීය බෞද්ධ ජනයාට වැදගත් වන දිනයකි. එබැවින් අති විශාල බෞද්ධ පිරිසක් පොසොන් පුර පසළොස්වක පොහොය දිනයේ මහින්දාගමනය ගෞරවයෙන් සමරන්නට අනුරාධපුරයේ පිහිටි මිහින්තලාව නම් පූජනීය ස්ථානයට එක් රොක් වෙති.
0 Comments