තැපැල් ගාස්තු ඉහළ දැමීමට මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ වී තිබෙන බවත්, මේ අවස්ථාවේ තැපැල් ගාස්තු ඉහළ දැමුවහොත් සාමාන්‍ය ජනතාව දැඩි අපහසුතාවන්ට පත් වන නිසා ගාස්තු සංශෝධනය ව්‍යාපාරිකයන්ට පමණක් අදාළ වන ලෙස සිදුකරන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා සිටින බවත් ලංකා තැපැල් සේවා සංගමය සඳහන් කරයි.
තැපැල් ගාස්තු සංශෝධනයක් සිදුකරන ලෙස තැපැල් දෙපාර්තමේන්තුව විසින් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබෙන බවත්, මේ අවස්ථාවේදී තැපැල් ගාස්තු ඉහළ දැමීම ජනතාව පීඩාවට පත් වන කටයුත්තක් බවත් එම සංගමයේ ලේකම් ජයන්ත විජේසිංහ මහතා පැවසීය. පවතින තත්වය තුළ තැපැල් දෙපාර්තමේන්තුව පාඩු ලබන තත්වයට පත් වී තිබෙනවා නම් මුලින්ම සිදුකළ යුතු වන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වසරකට ලබාදෙන මුද්දර සහනය සම්පුර්ණයෙන්ම කප්පාදු කර දැමීම බවත්, මේ ආකාරයට 225 දෙනාටම වාර්ෂිකව රුපියල් කෝටි ගණනක් වටින මුද්දර නොමිලේ ලබාදෙන බවත් හෙතෙම පවසා සිටියේය.සැම පාඩුවක්ම ජනතාව මත පැටවීමට බලධාරීන් උත්සාහ කළත්, දේශපානඥයන්ට ලබාදෙන වරප්‍රසාද දශමයකින් හෝ අඩු කර ජනතාවට සහන ලබාදෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට යෝජනාවක් සිදුකිරීමටවත් බලධාරීන් අපොහොසත් වී තිබෙන බවත්,
පවතින ආර්ථික අර්බුදය නිසා ජනතාවට සහල් කිලෝවක් මිලදී ගැනීමටවත් වත්කමක් නොමැති තත්ත්වයකට පත්වෙමින් තිබෙන බවත් ලේකම්වරයා පවසා සිටියේය.
මේ නිසා දේශපාලනඥයන්ට ලබාදෙන මුද්දර සහනය මුලින්ම කපා දැමිය යුතු බවත්, මෙම මුද්දර සහනය හරහා බොහෝ දේශපාලනඥයන් තමන්ගේ කටයුතු සිදුකරන බවට විවිධ චෝදනා එල්ලවෙමින් තිබෙන බවත් පවසා සිටි ඒ මහතා, මේ වනවිට දේශපාලනඥයන්ගෙන් මහජන සේවාවක් නිසි ලෙස සිදුනොවන නිසා දේශපාලනඥයන්ට ලබාදෙන තැපැල් සහනය කපා දැමිය යුතු බවද සඳහන් කළේය. මීට අමතරව මහා පරිමාණ ව්යාපාරිකයද සාමාන්‍ය ජනතාවට අඩු මුදලට ලබාදෙන සේවා ලබා ගනිමින් තිබෙන බවත්, මේ නිසා ව්‍යාපාරික පැලැන්තියට අදාළ මුද්දර ගාස්තු හා අනෙකුත් තැපැල් සේවා ගාස්තු ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවත් ලේකම්වරයා පැවසීය. එසේ නොකර මුද්දර ගාස්තු හා අන්නෙකුත් සේවා ගාස්තු පොදුවේ ඉහළ දැමීමට කටයුතු කළහොත් එය මේ රටේ සාමාන්‍ය ජනතාවට සිදුකරන දැඩි අසාධාරණ ක්‍රියාවක් බවද හෙතෙම සඳහන් කළේය.
(ඉන්දික හේවාවිතාරණ)
0 Comments