power-outage-strike

7.30am update
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ක්‍රියාත්මක කළ වෘත්තීය සමිති
ක්‍රියාමාර්ගය නතර කිරීමට තීරණය කළ බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රංජිත් මහතා සඳහන් කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග ඊයේ (08) රාත්‍රී පැවැත්වු සාකච්ඡාවකින් අනතුරුව වැඩ වර්ජනය


නතර කිරීමට තීරණය කළ බව ඔහු කීය. නමුත් එම තීරණය සන්නිවේදනය වී නැතිද යන ගැටලුව පැනනගින්නේ පාන්දර 4 පමණ සිට විදුලි සැපයුම අක්‍රීය වීම නිසාය.
කෙසේ වෙතත් විදුලි විසංධිවීම් තවම යථා තත්වයට පත්ව නැත. උදේ 7 ට පමණ විදුලි බල මන්ඩලයෙන් කළ විමසීමකදී දන්වා තිබෙන්නේ විදුලිය විසංධි වූ ප්‍රදේශවලට පැය 2 ක් හෝ 3 ක් ඇතුළත එනම් නැවත විදුලිය උදේ 10 ට පෙර ලැබෙනු ඇති බවයි.
කොළඹ, ගම්පහ සහ මහනුවර දිස්ත්‍රික්වල බොහෝ ප්‍රදේශවල මේ වන විට විදුලිය විසන්ධි වී ඇති  අතර කැනියොන්, ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර යන ජල බලාගාර ද ක්‍රියා විරහිත වී විදුලි උත්පාදනය නැවතී  ඇති නමුත් සියලු ම ගල් අඟුරු බලාගාර පූර්ණ ධාරිතාවය ජනනය කර ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ වෙමින් පවතින නිසා කොටසකට ත.වම විදුලිය අඛණ්ඩවම පවතී.
---------------------------------
6am update
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට නියමිත විදුලිබල පනතේ සංශෝධනයට විරෝධය පළ කරමින් විදුලි ඉන්ජිනේරුවන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඇරඹූ වැඩ වර්ජනය නිසා පාන්දර 4 සිට පමණ දිවයිනේ තැනින් තැන විදුලි බලය ඇණහිටි බව වාර්තා විය.


දෙහිවල,මොරටුව, බොරැලැස්ගමුව, කෑගල්ල,කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසක විදුලිය ඇණහිටිණි.

වර්ජනයට සහය නොදෙන පිරිසක් සිටීම නිසා සහ වර්ජකයන් ඉවත්ව ගියත් යන්ත්‍ර අක්‍රිය වීම හිමිහිට සිදුවන නිසා ඇතැම් ප්‍රදේශවලට ක්‍රමානුකූලව පමාවී විසන්ධිය සිදු විමට ඉඩ ඇති බවද වාර්තා විය.
 විදුලි බල සැපයුම අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබු නමුත් එය ගණනකට නොගෙන වර්ජනය ඇරඹී තිබුණි.


මේ අතර උදෑසන 6 ට පමණ වාර්තාවූයේ ජනපති සෘජුව මැදිහත්වී වර්ජකයින්ගේ ඉල්ලීමට කන්දී ඇති බවත් මේ හේතුවෙන් තාවකාලිකව වර්ජනය අවසන් කිරීමට වර්ජනය කරන ඉංජිනේරු සංගමය තීරණය කළ බවත්ය.
කෙසේ වෙතත් විසංධිවූ ප්‍රදේශයන්හි විදුලිය තවමත් එලෙසම විසංධිවී තිබෙන බව වාර්තාවෙයි.