නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට කප්පම් මුදල් ඉල්ලීමේ චෝදනාවකට කොළඹ මහාධිකරණය මගින් වසර දෙකක බරපතළ වැඩසහිත සිරදඬුවම් නියමකර එය වසර පහකට අත්හිටුවනු ලැබ තිබේ. සිරදඩුවම අත්හිටුවීම නිසා ඔහුට සිරගතවන්නට සිදුනොවන අතර අධිකරණ අධීක්ෂණය යටතේ වසර 5 ක් එම වරද නොකර සිටිමින් ඉන් ගැලවී සිටීමට හැකියාව ලැබේ.
ඔහු බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍යවරයාව සිටියදී මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩකිරීමට අවශ්‍ය අනුමැතියදීමට සහ එහි සිටි අනවසර පදිංචිකරුවන් ඉවත්කරදීමට ගිහාන් මෙන්ඩිස් නම් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64 ක් ඉල්ලා තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහු වරදකරු විය.
චෝදනාවට ප්‍රසන්න රණතුංගත් ඔහුගේ බිරිඳ සහ තවත් සැකකරුවෙකුට එරෙහිව ගොනුකර තිබු නඩුවේ තීන්දුව 06 වනදා මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ප්‍රකාශයට පත්කර තිබුණි. බිරිඳ සහ නරේෂ් ෆාරික් නැමැති සැකකරු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් විය.
විනිසුරුවරයා කියා සිටියේ සැකකාර ප්‍රසන්න රණතුංග තමන්ට නිත්‍යානුකූලව හිමිනැති වත්කමක් නීතිවිරෝධිව ලබාගැනීමට උත්සාහ කළ බවයි.
අනතුරුව තම සේවාදායක ප්‍රසන්න රණතුංග මහතාගේ දණ්ඩනය ලිහිල් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ
අනිල් සිල්වා මහතා අධිකරණය හමුවේ මෙසේ කියා තිබේ.
“ස්වාමිනි, මාගේ සේවාදායකයා 2022 මාර්තු 20 ශල්‍යකර්මයකට භාජනය කළා. ඒ වගේම මෑතකදි ඇතිවූ ගෝල්ෆේස් සිදුවීමත් සමඟ උඩුගම්පල පිහිටි මොහුගේ නිවස සම්පූර්ණයෙන් විනාශ වුණා. ඒ වගේම
ඒ සිදුවීම හේතුවෙන් ඔහුගේ දියණියගේ විවාහ
මංගල්‍යයත් කල්ගියා. එම දියණිය මානසීක පීඩනයකින් ඉන්නේ. ඒ වගේම මේවෙද්දි යම් අධිකරණ නියෝගයක් හේතුවෙන් රටට සංචාරකයින් පැමිණිම අඩුවෙලා ලෝකය ඉදිරියේ රට පිළිබඳ වැරදි ප්‍රතිරූපයක් මැවී තිබෙනවා. මාගේ සේවාදායකයා කැබිනට් අමාත්‍යවරයෙක්. ඔහුට එරෙහිව දැඩි දණ්ඩනයක් ලබාදුනහොත් කැබිනට් මණ්ඩලයක් ස්ථාවරව පවත්වාගෙන යා නොහැකියැයි මතයක් ලෝකයා ඉදිරියට යන්න පුළුවන්. එබැවින් මා ඉල්ල සිටිනවා ඔහුට එරෙහි චෝදනාවට ලබාදෙන දණ්ඩනය ලිහිල් කරන්න කියලා”
කෙසේ වෙතත් දණ්ඩනය ලිහිල්කිරීම සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ද මෙහිදි කරුණු දැක්වූවා.
“ස්වාමිනි, මේක මේ නඩුවේ මුල් අවස්ථාවකදීම වරද පිළිගැනීමක් නෙමේ. රටේ මහජනතාවගේ බදු මුදලින් පැමිණිල්ල වන අපි අවුරුදු 04ක් නඩුව මෙහෙයවා ලබාගත්තු තීරණයක්. අනික ඔබතුමන් ලබාදෙන දණ්ඩනය තුළින් රටේ පාලකයන්ට මඟපෙන්වීමක් දෙන්න ඕනේ නිලබලය, තනතුරු යොදාගෙන සාමාන්‍ය
පුද්ගලයින් බියවද්දන්න බැහැ කියලා. මොකද මිනිස්සු ඡන්දේ දීලා මොහුව බස්නාහිර පළාත් සභාවට යැව්වේ බිස්නස් ඩීල් දාන්න නෙවෙයිනේ. එබැවින් ස්වාමිනි සමාජයට ප්‍රබල පණිවුඩයක් ලබාදිය හැකි නීතිය කෙරෙහි බියක් ඇතිකරන සුදුසු දණ්ඩනයක් මොහුට ලබාදෙන්න”
කරුණු සලකාබැලු මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා වරදකරු වූ අමාත්‍ය ප්‍රසන්න
රණතුංග මහතාට වසර 2ක බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියමකර එය වසර 05කට අත්හිටුවනු ලැබූවේය.
එමෙන්ම අදාළ චෝදනාවට වරදකරුවීම සම්බන්ධයෙන් රුපියල් මිලියන 25ක දඩමුදලක් ගෙවීමට අමාත්‍යවරයාට නියෝග කළ අධිකරණය එය නොගෙවන්නේනම් බරපතළ වැඩසහිත මාස 09ක අතිරේක සිරදඬුවමක් පැනවෙන බවද පැවසුවේය.
තවද නඩුවේ පැමිණිලිකරුට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙසත් එය නොගෙවන්නේ නම් මාස 03 ක තවත් බරපතළ වැඩසහිත සිරදඬුවමක් නියම කිරීමටත් මහාධිකරණ විනිසුරු නියෝග කළේය.
ප්‍රසන්න රණතුංග මේ තීන්දුවට එරෙහිව අද දින අභියාචනාවක් ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් සඳහන් කළේ අපරාධ නඩුවකවරදකාරයෙකු වී සිටින පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට සුදුසු නැති බැවින් වහාම ඉල්ලා අස්විය යුතු බවයි.
0 Comments