ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ නොගිය අවස්ථාවක මෙරට තුළ නැවත වතාවක් ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවේ අයි.ඕ.සී. සමාගමේ ලාභය අධික ලෙස ඉහළ දැමීම සඳහා බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය. ඉන්ධන ගෙන්වීම සඳහා ඛනිජතෙල් සංස්ථාවට ප්‍රතිපාදන නොමැති බැවින් අයි.ඕ.සී. සමාගමට ඉන්ධන ගෙන්වන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවත්, එහිදී මෙලෙස මෙරට ඉන්ධන මිල ඉහළ දමන ලෙස එම සමාගමේ නිලධාරින් සංස්ථාවෙන් ඉල්ලීමක් කර ඇති බවත් ඊයේ (26) දා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය. ඒ අනුව මෙරට තුළ ඉන්ධන පවතින්නේද, නැද්ද යන්න සහ ඉන්ධන මිල තීරණය කිරීමේ ඒකාධිකාරී බලය අයි.ඕ.සී. සමාගම අත්පත් කරගෙන තිබෙන බව සඳහන් කළ පුබුදු ජයගොඩ මහතා,
"ලංකාවේ බලශක්තිය සම්බන්ධයෙන් බරපතළ අර්බුදයක් උද්ගතවෙලා තිබෙනවා.
අද දවස වන විට එක් පැත්තකින් ඉන්ධන හිඟයක් උද්ගත වෙලා තිබෙනවා. තව පැත්තකින් ඉන්ධන මිල වැඩි කරලා තිබෙනවා. ඊයේ දවල් 12.30 වන විට ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ තෙල් තොග බෙදා හැරීම නතර කළා තවදුරටත් තෙල් නැහැ කියලා. ඊයේ සවස් වන විට සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ යන්ත්‍ර සියල්ල නිවා දැමුවා තවදුරටත් එම පිරිපහදුව පවත්වාගෙන යන බොරතෙල්. නැති නිසා. පෙට්‍රල් සහ ඩීසල් තොගත් අවසන් වෙලා තිබෙනවා. අපිට වාර්තා වන විදියට කොළොන්නාව සහ මුතුරාජවෙල තියෙන තෙල් ගබඩාවල 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 1,000ක්, 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ ඔටෝ ඩීසල් මෙට්‍රික් ටොන් 10,000ක් පමණයි දැනට ඉතිරී වෙලා තිබෙන්නේ. සාමාන්‍යයෙන් අපේ දෛනික අවශ්‍යතාව ලෙස තිබෙනවා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,500ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 6,000ක්.
ඊයේ සවස් වන විට තිබුණු ඩීසල් සහ පෙට්‍රල් තොග යන්තම් එක දවසකට විතරයි ප්‍රමාණවත් වෙන්නේ. එතැනින් පසු විශාල ඉන්ධන හිඟයක් මතුවීමට ඉඩ තිබෙනවා. මේකේ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. දැන් තෙල් ගේන්නේ නැතිවත් මිල වැඩි කිරීමක් කළා. අද වන විට 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 420 සිට 470 දක්වා රුපියල් 50කින් සහ 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 100කින් ඉහළ දැම්මා,
ඒ අනුව තෙල් මිල විශාල වශයෙන් ඉහළ දාලා තිබෙනවා. තෙල් මිල ඉහළ දානවා කියන ඒකට හේතු එකක්වත් මෙතනට වලංගු නෑ.
මේ වන විට ලෝකයේ තෙල් මිල පහත යමින් තිබෙනවා. අනිත් එක ලංකා තෙල් සංස්ථාවට පාඩුයි කියලා කියන්නත් බෑ. දැනට තිබෙන සංඛ්‍යාලේඛන අනුව 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 15යි සත 57ක ලාභයක් තිබෙනවා. 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 68යි සත 61ක ලාභයක් තිබෙනවා තෙල් සංස්ථාවට. සුපිරි ඩීසල් ලීටරයකින් රුපියල් 20යි සත 27ක ලාභයක් තිබෙනවා. ඔටෝ ඩීසල්වලින් රුපියල් 08යි සත 52ක අලාභයක් තිබෙනවා. නමුත් ඒක දෙන්නේ රටේ පොදු ප්‍රවාහනය, භාණ්ඩ ප්‍රවාහනය ආරක්ෂා කර ගැනීම සඳහා. ඒ අනුව දැන් ලාභ නෑ කියලා කියන්නත් බෑ.
මේ ආණ්ඩුව බලයට ඇවිල්ලා 06වැනි වතාව මේ මිල වැඩි කරපු. මේ මිල වැඩි කරන්නේ සංස්ථාව ලාභ ලබමින් තිබියදී, ඇයි දැන් මේ හදිස්සියේ තෙල් මිල වැඩි කළේ හේතුව තමයි රජයට තවදුරටත් තෙල් ගෙන්වා ගන්න බෑ. ඒ නිසා අපි දන්න තොරතුරුවලට අනුව අයි.ඕ.සී. එකෙන් ඉල්ලීමක් කරලා තිබෙනවා සංස්ථාවට ගේන විදියක් නැති නිසා ඔවුන්ට තෙල් ගේන්න කියලා. ඒ ඉල්ලීම කළාට පස්සේ අයි.ඕ.සී. සමාගමේ ඉන්දීය නිලධාරීන් රජයට කියලා තිබෙනවා තෙල් මිල වැඩි කරනවා නම් විතරයි තෙල් ගේන්නේ කියලා. අයි.ඕ.සී. සමාගමේ ලාභය වැඩි කිරීමට මේක කළේ. ඒ අනුව ලංකාවේ තෙල් තියෙනවාද, නැද්ද කියන එක සහ තෙල්වල මිල තීරණය කරන ඒකාධිකාරී බලයක් අයි.ඕ.සී. එක අත්පත් කරගෙන ඉන්නවා” යනුවෙන් සඳහන් කළේය.
(දිනේෂ් සමරකෝන්)
0 Comments