අනාරක්ෂිත ලෙස ශීතකරණයක් කැබ් රථයක් පසුපස පටවා අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවේ දී කොළඹ දෙසට යෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුගේ රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැණ වැදී පහරදීමට තැත්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගහැර සිටින තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දිකා සිල්වා
අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.
අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර අසලදී පසුගිය 09වැනිදා සිදු වූ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු ලෙස නම් කර තිබෙන හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කණ්ඩායම් දෙකක් යොදවා පරික්ෂණ සිදුකරන බවද සඳහන් කරයි.
රවිදු වෙදආරච්චි සහ ඔහුගේ බිරිඳ වන නෙත්මි හරින්දිකා සිල්වා සම්බන්ධයෙන් පොලිස් සැරයන්වරයා වීරකැටිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිල්ල අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් ඔවුන්ගේ නිවසට ගියද ඔවුන් පොලිසිය මගහරිමින් සැඟව සිටින බව වාර්තාවේ. පොලිසිය මගහරිමින් සැඟවී සිටින මොවුන් දෙදෙනාට සැගවී සිටීම සඳහා නවාතැන් දීම අපරාධමය වරදක් බවද පොලිස් මූලස්ථානය පවසයි.
සිදුවීම සම්බන්ධයෙන් ෆේස් බුක් පොස්ටු පළකරමින් ඉන් ගැළවීමට අදහස් පළ කර තිබූ රවිඳු ඊයේ සවස වනවිට සිය සමාජ මාධ්‍ය ගිණුම් අක්‍රීය කරගත්තේය.
මොවුන් සම්බන්ධයෙන් සහ මොවුන් ගමන්ගත් (SGPG - 4507) දරන කැබ්රථය සම්බන්ධයෙන් යම් තොරතුරක් තිබේ නම් වීරකැටිය පොලිස් ස්ථානාධිපති - 0718-594193 සහ වීරකැටිය පොලිසියේ 047-2246226 අංක වෙත දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය පවසයි.
0 Comments