මෙවර යල කන්නයේ අස්වනු අඩුවී සහල් මිල ඉහළ කමත් හා සහල් හිඟයක් ඇතිවනු ඇති බවට පවතින සැකයත් හේතුවෙන් මේ වනවිට බොහෝ දෙනා වී තොග එක්රැස් කරමින් සිටීම නිසා වී මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඇතැම් ප්‍රදේශවල වී කිලෝවක් රුපියල් 165 සිට 260 දක්වා මිල ගණන් යටතේ අලෙවි වන බවත්, ඒ හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල සහල් කිලෝවක මිලද රුපියල් 300ක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බවත් සඳහන් වේ. වී මිල ඉහළයාමත් සමඟ ඇතැමුන් බිත්තර වී සහල් බවට පත් කිරීම හේතුවෙන් ඉදිරි කන්නවල වගාව සඳහා අවශ්‍ය බිත්තර වී ලබාගැනීමද ගැටලු සහගත විය හැකි බව වී ගොවීහු පවසති. මේ වනවිට බිත්තර වී කිලෝවක මිලද රුපියල් 85 සිට රුපියල් 220ක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඉදිරියේදී රට තුළ සහල් හිගයක් ඇති වන බවට කෘෂිකර්ම අමාත්‍යවරයා කළ ප්‍රකාශය හේතුවෙන් බියට පත් ජනතාව වී තොග රැස්කරමින් සිටින බවත්, ඉහළ මිලක් ලැබීම හේතුවෙන් ගොවීන් ද යල කන්නයේ මඩ ගොවිතැන කිරීම සඳහා මෙන්ම තම පරිභෝජනය සඳහා තබාගෙන සිටි වී ද මොවුන්ට ලබාදෙමින් සිටින බවත් ගොවීහු සඳහන් කරති.
වී වගා කෙරෙන ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශ දක්වා දුම්රියෙන් වී ප්‍රවාහනය ද මේ වනවිට ඉහළ ගොස් ඇත. වී සඳහා ඇති අධික ඉල්ලුම හේතුවෙන් සහල් මිල ද ඉහළ ගොස් ඇති අතර රජය දේශීය සහල් අලෙවිය සඳහා උපරිම සිල්ලර මිලක් නියම කළ ද වෙළෙඳුන් එම මිල ගණන් ඉක්මවා සහල් අලෙවි කරන බවට පාරිභෝගිකයෝ චෝදනා කරති. මේ වනවිට සතොස සහ සුපිරි වෙළෙඳසල්වල සහල් හිඟයක් ද පැවතීම හේතුවෙන් පාරිභෝගිකයෝ දැඩි දුෂ්කරතාවට පත්ව සිටිති. මහවැලි අධිකාරි බලප්‍රදේශයට අයත් ඇඹිලිපිටිය, කුට්ටිගල, තෝරගල වැනි ප්‍රදේශවලට දුර බැහැර සිට වාහනවලින් පැමිණෙන පිරිස් පවතින සහල් මිලටම වී මිලදී ගන්නා බව එම ප්‍රදේශවල ගොවීහු පවසති. මෙවැනි ඉහළ මිලකට වී මිලදී ගත් අවස්ථාවක් මීට පෙර තිබීම නැතැයි ද ඔවුහු සඳහන් කරති.
වලව නදී ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පියසේන දිසානායක මහතා පැවැසුව් පසුගිය වසරේ වී මෝල් හිමියන් වී මිලට ගත් රුපියල් 58ත් 60ත් වැනි මිල ගණන් යටතේ බවත් පසුගිය මැයි මාසයේදී එය රුපියල් 150ක් පමණ දක්වා ඉහළ ගිය අතර, මේ වනවිට පිට පළාත්වලින් පැමිණෙන පිරිස් වී කිලෝවක් රුපියල් 250ත් 260ක් වැනි මිලකට මිලදී ගන්නා බවයි. පොළොන්නරුව ඇතුළු මහවැලි බී හා සී කලාපවල මහා පරිමාණ වී සහ සහල් ව්‍යාපාරිකයන් ගොවීන්ගේ නිවෙස් වෙත ගොස් කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130 කට සහ නාඩු වී කිලෝවක් රුපියල් 150 කට මිලට ගනිමින් සිටිති. රජරට ප්‍රදේශවල වී කිලෝවක මිල රුපියල් 175 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, පසුගිය මාස් කන්නය අවසන්වන විට රුපියල් 70ට තිබූ නාඩු වී කිලෝවක් මේ වනවිට රුපියල් 165 දක්වාත් රුපියල් 72කට තිබූ සම්බා වී කිලෝව රුපියල් 170ක් දක්වාත් ඉහළ ගොස් ඇතැයි වී ගොවියෝ පවසති.
සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරීමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පැවසුවේ වී කිලෝ 64ක මිටියක මිල මේ වනවිට රුපියල් 10,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. මේ වනවිට කුඩා වී මෝල් හිමියන් සතුව වී තොග නොමැති බව සදහන් කළ සභාපතිවරයා, බොහෝ දෙනා වී රැස්කිරීම හේතුවෙන් නාඩු සහ සම්බා වී මිල ඉහළ ගොස් ඇති බවත්, වී මිටියක් මරදගහමුලට ලැබෙන විට රුපියල් 10,350ක් පමණ වන බවත් ඔහු සඳහන් කළේය. මෙම තත්වය අනුව රජයේ පාලන මිලට සහල් ලබාදීම කළ නොහැකි බවත්, මේ හේතුවෙන් නාඩු සහල් කිලෝවක් රුපියල් 290ක තොග මිලකට අලෙවි කිරීමට සිදුව ඇති බවත් සභාපතිවරයා කීවේය. රට තුළ සහල් හිඟයක් ඇති වීමට හේතුවක් නොමැති බවත් ඉදිරි මාස තුනක කාලය සඳහා අවශ්‍ය තරම් සහල් තොග පවතින බවත් කී රංජිත් මහතා අතර යල කන්නයේ අස්වැන්න ද ඉදිරියේදී ලැබෙන බැවින් බියවිය යුතු තත්වයක් නොමැති බවද පැවැසීය.
මාතර, හක්මන ප්‍රදේශයේ සහල් කිලෝවක් රුපියල් 300කට පමණ අලෙවි කරන බව වාර්තා වේ. එම ප්‍රදේශයේ ඇතැම් හාල් මෝල් හිමියන් පාරිභෝගිකයනට හාල් නිකුත් කිරිම කිලෝ 5කට සීමා කර ඇති නමුත් වෙළෙඳසල් සඳහා නිකුත් කිරීමට සීමාවක් පනවා නැති බවත්, ගොවියාගෙන් රුපියල් 100කට පමණ ලබාගත් වී සහල් කර මෝල් හිමියන් අසීමිත ලාබයක් ලබන බවත් ජනතාව පවසති. වී මෝල් හිමියන් මෝල තිබූ වී තොග තම නිවෙස්වල සහ හිතවතුනගේ නිවෙස්වල සඟවා තබා විටින්විට සුළු ප්‍රමාණ රැගෙන විත් සහල් කරන ජාවාරමක් ද සිදුකරන බවට ද වාර්තා වේ. ඇතැම් මෝල් හිමියන් වී නොමැති බවට වී මෝල් වසා පසුදින විශාල සහල් තොග සහිතව ඒවා විවෘත කර සහල් කිලෝවක් රුපියල් 270 සිට 300 දක්වා මිල ගණන් යටතේ අලෙවිකරන බවද පාරිභෝගිකයෝ පවසති. කතරගම, සෙල්ල කතරගම ආදී ප්‍රදේශවල කැකුළු සහල් කිලෝවක් රුපියල් 300 දක්වා ඉහළ ගොස් ඇත. මාතලේ නගරයේ වෙළෙඳසල්වල ද සහල් කිලෝවක මිල රුපියල් 40 කින් 50කින් ඉහළ ගොස් ඇති අතර, ඒ අනුව රුපියල් 220ක්ව පැවැති නාඩු සහල් කිලෝවක මිල රුපියල් 270 ක් දක්වාත්, රුපියල් 240 ක් වූ සම්බා සහල් කිලෝවක මිල රුපියල් 290ක් දක්වා සහ රුපියල් 210ක්ව පැවැති කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 250ක් දක්වාත් ඉහළ ගොස් තිබේ.
විශාල වශයෙන් වී වගා කෙරෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නාඩු සහල් කිලෝව රුපියල් 230ක්, සම්බා සහල් කින්ඩෝව රුපියල් 280ක් 300 ත් අතර මිලකට මෙන්ම කීරි සම්බා කිලෝවක් රුපියල් 300, 320 ත් අතර මිලකට අලෙවි කෙරෙන බව වාර්තා වේ. ගම්පහ ප්‍රදේශයේ රතු කැකුළු කිලෝවක් රුපියල් 240 ක්, නාඩු සහල් සහ සුදු කැකුළු කිලෝවක් රුපියල් 250 ක්, සම්බා කිලෝවක් රුපියල් 260 ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 280 ක් වශයෙන් අලෙවි වේ. සහල් වෙළෙඳුන් පවසන්නේ රජයේ පාලන මිල ගණන් යටතේ අලෙවි කිරීමට සහල් තොග නොලැබෙන බවත්, වැඩි මිලට සහල් අලෙවි කිරීම මත නීතියේ රැහැනට හසුවීමට නොහැකි නිසා සහල් අලෙවියෙන් ඉවත්වීම හැර වෙනත් කළ හැක්කක් නොමැති බවත්ය. ආණමඩුව හා පුත්තලම ඇතුළු නගර රැසක වෙළෙඳුන් ද සහල් ඉතා ඉහළ මිලකට අලෙවි කරන බවත්, පසුගිය සතියේ රුපියල් 220 කට අලෙවි වූ නාඩු සහල් කිලෝව රුපියල් 280 දක්වාත්, පසුගිය සතියේ රුපියල් 240 ක් වූ සම්මා කිලෝව රුපියල් 300 දක්වාත් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. ඇතැම් ප්‍රසිද්ධ සහල් නාමයන් සහිත නාඩු සහල් කිලෝව රුපියල් 220 ලෙස ඇසුරුම්වල සටහන් කර තිබුණද එම සහල් තමන්ට අලෙවි කරන ලෙස ලබාදී ඇත්තේ රුපියල් 270කට බවද වෙළෙන්දෝ පවසති. මහා පරිමාණ සහල් සහ වී ව්‍යාපාරිකයන් රුපියල් 55ට 60, ලබාගත් වී තොග සහල් බවට පත් කර සහල් කිලෝවක් රුපියල් 220 ට, 250 ක් වැනි මිල ගණන්වලට තොග වශයෙන් අලෙවි කරමින් අධික ලාබයක් උපයන බව ඔවුහු සඳහන් කරති. ඉදිරි මාස කිහිපය ඇතුළත හාල් කිලෝවක මිල රුපියල් 500 දක්වා ඉහළ යනු ඇති බව කුඩා සහල් නිෂ්පාදකයෝ පවසති.
0 Comments