ශ්‍රී ලංකාව මේ වනවිට නිදහසෙන් පසුව පත්ව ඇති අසීරුතම ආර්ථික කඩඉම පසුකරමින් සිටියි.1948 වසරේදී නිදහස ලබන විට ආසියාවේ ශක්තිමත්ම ආර්ථිකයක් හිමිවි සිටි අපේ රට අද වන විට බංකොලොත් ආර්ථිකයකට හිමිකම් කියන්නකි.
මේ වන විට රට තුළ විදේශ මුදල් සංචිත නොමැති වීම සහ විදේශ ශ්‍රමිකයන් විසින් එවනු ලබන ප්‍රේෂණ වල අතිදැවැන්ත පහළ යෑම නිසා තවදුරටත් භාණ්ඩ හා සේවා ආනයනය කිරීම අර්බුදයක් බවට පත්ව ඇත. භාණ්ඩ ආනයනය අර්බුදය රටේ ජනතාවට වඩාත් ම බරපතළ ලෙස දැනෙන්නේ ඉන්ධනවල සහ ගෑස් හිඟතාවය සහ විදුලිය කප්පාදු කිරීම නිසාය.
කෙසේ නමුත් ඊටත් වඩා බරපතළ තත්ත්වයක් ඇතිවීමට ගිය ක්ෂේත්රයක් යම්තාක් දුරකට කළමනාකරණය වී ඇති බව බොහෝ දෙනෙක් නොදනිති. එම ක්ෂේත්‍රය නම් ඖෂධ සැපයුම් ක්ෂේත්‍රයයි. රාජ්‍ය අංශය මගින් සිදුකරනු ලැබූ ඖෂධ සැපයීම අඩාල ව ගොස් ඇති පසුබිමක පෞද්ගලික අංශය රටේ ඖෂධ සැපයුම බිඳ නොවැටී පවත්වාගෙන යෑමට අවශ්‍ය පසුබිම සකස් කොට ඇත. කෙසේ නමුත් ඒ පිළිබඳව බොහෝ දෙනෙකු තුල නිසි අවබෝධයක් නොමැති බව පැහැදිලිය.
ඖෂධ ආනයනය කිරීම ලංකාව තුළ අවම ලාබයක් ඉපයිය හැකි ව්‍යාපාරයකි. මේ සඳහා යොමුවන බොහෝ ආයතන එය සිදු කරන්නේ ව්‍යාපාරයකට වඩා සේවාවක් ලෙසය.යම් භාණ්ඩයක් හෝ සේවාවක් ආනයනය කිරීමේදී ණයවර ලිපි විවෘත කිරීම කළ යුතු අතර ඒ සඳහා ගෙවීම් කළ යුත්තේ අදාළ ණයවර ලිපියේ ණය කාල සීමාව ඉක්මවා යෑමෙන් පසුය. මේ සඳහා රුපියල් වලින් ගෙවීමට අදාළ ආයතනවලට අවස්ථාව නොලැබෙන අතර ඒ සඳහා විදේශ මුදල් භාවිතා කිරීම අනිවාර්ය කොන්දේසියකි.
පසුගිය කාලය තුළ එකී ගෙවීම් සිදු කිරීමේ දීඅදාළ ඖෂධ සමාගම්වලට සිය ඉතිහාසයේ පෙර නොවූ විරූ ගැටළු සහගත තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවිය ඒ ලංකා ඉතිහාසයේ සිදු වූ විශාලතම රුපියල බාල්දු වීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ට ඖෂධ ආනයනයේ දී ගෙවීමට සිදුවුණු මිල ඉහළ යෑමයි. මේ නිසා ඇනවුම් කිරීමේදී පවතින මිලට වඩා වැඩි මිලකට ආනයනයේ දී ඔවුන්ට ගෙවීමට සිදුවිය එපමණක් නොව අදාළ ඖෂධ වෙළඳපලට නිකුත් කරන දිනය වන විට මීටත් වඩා වෙනස් මිළක් සටහන් විය.
මෙවැනි පසුබිමක අදාළ ආයතනවලට තම සේවාවන් පවත්වාගෙන යෑමට ඖෂධවල මිල ඉහළ දැමීම හැර වෙනත් විකල්පයක් නොතිබිණි. මේ නිසාම එකම නිෂ්පාදිත දිනය සහ එකම කාණ්ඩය අංක සහිත ඖෂධ වල මිල පවා එකිනෙකට වෙනස් අගයක් ගැනීම සිදුවිය.ඊට හේතුව වන්නේ එකී ඖෂධවල මිල තීරණය වුයේ ආනයනය කළ දිනය නොව වෙළඳපලට නිකුත් කරනු ලැබූ දිනයේ වීමයි. මෙවැනි තත්වයන් නිරීක්ෂණය කළ සාමාන්‍ය ජනතාව මේ පිළිබඳව විවිධ සැක සංකා මතු කොට තිබිණි. එය සාමාන්‍ය තත්ත්වයකි. එහිදී එම ජනතාව අමතක කරන කාරණය වන්නේ මෙම ඖෂධ ලංකාවේ නිෂ්පාදනය කරන ඒවා නොව ආනයනය සිදු කරන ඒවා බවයි.
ඉන්ධන සහ ගෑස්වල මිලෙහි සිදුවුණු වෙනස්කම් පිළිබඳව අවධානය යොමු කළේ නම් ඔවුන්ට මෙය පහසුවෙන් තේරුම් ගත හැකි කරුණක් වනු නොඅනුමානයි.
ඖෂධවල පමණක් නොව ලංකාවට සිදු කරනු ලබන සියලුම ආනයනය වල මිල ඉහළ යෑම කෙරෙහි බලපා ඇති ප්‍රධාන ගැටලුව වන්නේ ආරම්භයේදී සඳහන් කළාක් මෙන්ම මෙරට තුළ පවතින විදේශ සංචිත වල ඇති හිඟකමයි. මේ සඳහා රජයට සුවිශාල මැදිහත්වීමක් සිදු කළ යුතු නමුත් සාමාන්‍ය ජනතාවට යම් දායකත්වයක් මේ සඳහා ලබාදිය හැකිය. විශේෂයෙන්ම විදේශ ශ්‍රමිකයන්ට හැකි සෑම අවස්ථාවකම මෙරටට මුදල් එවීමේදී මෙරට බැංකු පද්ධතිය පමණක් භාවිතා කරන ලෙස ඔවුන් දිරිමත් කිරීම කළ යුතුය. උන්ඩියල් හවාලා වැනි නීති විරෝධී ක්‍රම මගින් මුදල් එවීමේදී ඔබට සුළු ලාභයක් ලැබෙන නමුත් රටක් ලෙස අපට සිදුවන්නේ දැරිය නොහැකි අලාභයකි. ආනයනය කරන ලද සියලුම භාණ්ඩ හා සේවා වල මිල විදේශ සංචිත නොමැති පසුබිමක දී ඉහළ යන අතර එහි වක්‍රාකාර ප්‍රතිඵලයක් ලෙස මෙරට නිෂ්පාදනය කරනු ලබන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ යනු ලබයි. මේ තත්ත්වය වෙනස් කිරීමට අප සියලු දෙනාම එක් වීමට කාලය එලඹ ඇත
0 Comments