බොරතෙල් නොමැති වීම නිසා යළිත් වතාවක් අද (24) දා සිට පිරිපහදුව වසා දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුව තිබෙන බවත්, බොරතෙල්. ගෙන්වා පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යාමට බලධාරීන් කිසිදු උනන්දුවක් නොදක්වන බවත් තෙල්, විදුලි, වරාය සමගි වෘත්තීය සමිත සන්ධානය සඳහන් කරයි. බොරතෙල් ගෙන්වීමේදී විශාල කොමිස් මුදලක් ලබා ගැනීමට නොහැකි බවත්, එහෙත් ඉන්ධන මිලදී ගැනීමේදී විශාල කොමිස් මුදල් හිමිවන නිසා බලධාරීන් වැඩි කැමැත්තක් දක්වනු ලබන්නේ ඉන්ධන මිලදී ගැනීමට බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
පිරිපහදුව වසා දමා අඛණ්ඩව වැඩි මිලට ඉන්ධන ලබාගැනීම කුමන්ත්‍රණයක් බවත්, මීට අමතරව ඉන්ධන නැව් හා බොරතෙල් නැව් හදිසි මිලදී ගැනීම යටතේ මෙරටට ලබා ගැනීමට හා මෙරටට ගෙන්වන නැව් මුහුදේ නවතා තබාගෙන දින ගණනක් ප්‍රමාද ගාස්තු ගෙවීමට යම් පිරිසක් කැමැත්තක් දක්වන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ අනුව පසුගිය වසරේ ජනවාරී මාසයේ සිට මේ දක්වා කාලය තුළදී ක්ෂණික මිලදී ගැනීම යටතේ වැඩි මිලට ඉන්ධන ලබා ගැනීම, ප්‍රමාද ගාස්තු වශයෙන් නැව්වලට මුදල් ගෙවීම සහ වැඩිපුර නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු ගෙවීම නිසා රටට ඩොලර් මිලියන 68කට ආසන්න මුලදක් අහිමි වී තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.මෙම මුදලින් ඩීසල් මෙට්‍රික්ටොන් 60,000ක් හෝ බොරතෙල් මෙට්‍රික්ටොන් 100,000කට ආසන්න ප්‍රමාණයක් මිලදී ගැනීමට හැකියාව තිබූ බවද ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
බොරතෙල් මෙට්රිබොන් 89,000ක් මිලදී ගැනීම සඳහා වැය වන්නේ ඩොලර් මිලියන 68කට ආසන්න මුදලක් බවත්, බොරතෙල් පිරිපහදු කිරීම තුළින් ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්, දැවිතෙල් ඇතුළු නිෂ්පාදන 08ක් ලැබෙන බවත් ඒ මහතා පවසා සිටියේය. පෙරේදා (22) දා දිනයේදී මිලදී ගත් දැවිතෙල් නැව මෙරටට පැමිණියේ අප්‍රේල් 26වැනිදා බවත්, ඒ සඳහා ඩොලර් මිලියනකට වඩා ප්‍රමාද ගාස්තු ගෙවා තිබෙන බවත් පැවසූ ආනන්ද පාලිත මහතා වැඩිදුරටත් සඳහන් කළේ බොරතෙල් නැවක් ගෙන්වීමට කිසිදු වැඩපිළිවෙළක් සකස් නොකළ බවයි.ඊයේ දිනයේදී පැමිණීමට තිබූ පෙට්‍රල් නැව මෙරටට නොපැමිණි බවත්, වර්තමාන විෂය භාර අමාත්‍යවරයා මෙරටට ඉන්ධන නැව් පැමිණෙන දින ප්‍රකාශයට පත්කළත් ඒ කිසිදු අවස්ථාවක ඉන්ධන නැව් ලැබී නොමැති බවත් ආනන්ද පාලිත මහතා පවසා සිටියේය.
පසුගිය මාර්තු 19 වැනිදා බොරතෙල් නොමැති වීම නිසා පිරිපහදුව වසා දැමූ බවත්, ඉන් පසුව මෙම මස 02 වැනිදා නැවත වරක් පිරිපහදුව ආරම්භ කළ බවත්, එහෙත් බොරතෙල් නොමැති වීම නිසා අද සිට පිරිපහදුව වසා දැමීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමට සිදුව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය. පිරිපහදුවක් වසා දැමීමට දින ගණනාවක් ගත වන බවත්, මීට අමතරව පිරිපහදුවක් නැවත පණගැන්වීම සඳහාත් දින ගණනාවක් ගතවන බවත් හෙතෙම පවසා සිටියේය. එමෙන්ම එම ක්‍රියාවලිය සඳහා අතිවිශාල මුදලක් වැය වන බවත්,
පිරිපහදුව වසා දැමුවත් සේවකයන්ට වැටුප් ගෙවීමට රුපියල් කෝටි 16කට ආසන්න මුදලක් වැය වන බවද හෙතෙම සඳහන් කළේය. පසුගිය නොවැම්බර් මාසයේ සිට අවස්ථා තුනකදී මේ වනවිට පිරිපහදුව වසාදමා තිබෙන බවත්, පිරිපහදුව වසා දැමීමත් සමග රටේ ජනතාවට තුමිතෙල් හිඟයකට මුහුණ දීමට සිදුවන බවත්, මැතකාලීනව මෙරටට භූමිතෙල් ගෙන්වා නොමැති බවත් ආනන්ද පාලිත මහතා පවසා සිටියේය.
0 Comments