රටේ ප්‍රශ්න විසඳීම සඳහා වන විශේෂ යෝජනාවලියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බාර දෙනු ලැබ ඇත. ඉදිරි දුෂ්කර කාලයට මුහුණදීම සඳහා ජනතාව ජාතික සැලැස්මක් වටා ඒකරාශී කිරීමේ වැදගත්කම කතානායකවරයා මෙම ලිපියෙන් පෙන්වාදී තිබේ. මෙවැනි අර්බුදයකදී ඉන් ගොඩ ඒම සඳහා රජය, රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශය සහ මහජනතාව අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු බවත් වර්තමාන තත්වය තුළ මෙම සියලු පාර්ශ්ව වලට එකට වැඩ කිරීම සඳහා ඇති විශාලම බාධකය වන්නේ අන්‍යෝන්‍ය විශ්වාසය පළුදුවීම බවත් කතානායකවරයා සඳහන් කර ඇත. විශ්වාසය දිනාගැනීම සඳහා සුදුසුම ක්‍රමය නම් වීදුරු කුටියක් තුළ සිට මෙන් රාජ්‍ය පාලනය කිරිම බවත් සියලු තොරතුරු, ක්‍රියාවලි, තීරණ ගැනීම්,

සැලසුම්, අරමුණු සහ සෑම පාර්ශ්වකටම හෙළිදරව් කර කටයුතු කිරීමෙන් විශ්වාසය දිනාගත හැකි බවත් අබේවර්ධන මහතා එම ලිපියෙන් පෙන්වා දෙයි.

වැරැදි තොරතුරු පාලනය කිරීමට හෝ ඒවාට ප්‍රතිචාර දැක්වීමට උත්සාහ දරනවා වෙනුවට සම්පුර්ණ තොරතුරු ලබාදීම ප්‍රශ්නයට උත්තරය බවද හෙතෙම සඳහන් කරයි. ආර්ථික පුනර්ජීවනයට අදාළ රැස්වීම් සජීවීව විකාශය කිරීමට ඉඩ සලසා දීම සහ එම රැස්වීම්වල වාර්තා නිකුත් කිරීම ඉතා වැදගත් බව පෙන්වා දෙන කතානායකවරයා මුදල් මණ්ඩල රැස්වීම්වල සවිස්තර වාරතා නිකුත් කිරීමද ඉදිරියේදී අනිවාර්ය කළ යුතු බව සදහන් කරයි. විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බැකුවලින් බාහිර මාර්ග හරහා මුදල් එවීම වළක්වා බැංකු පද්ධතිය හරහා ලබාගැනීමෙන් ඩොලර් හිගය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බව කතානායකවරයා එම ලිපියෙන් පෙන්වාදී ඇත.



බෝග වගා කිරීමට සැලැස්මක් සහිතව ජනතාව දිරි ගැන්වීම කළ යුතු බවත් මේ අර්බුදයට මුහුණ දීමට නම් පෞද්ගලිකව සහ දැනට පවතින තොග සහ අනාගතයේද ඇතිවිය හැකි හිග පිළිබඳ නිවැරැදි තක්සේරුවක් තිබිය යුතු බවත් ඔහු සඳහන් කරයි. රජයේ ඉහළ නිලධාරීන්ගේ සිට පහළට හැකි සියලු තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන ලෙසත් සෑම සැලසුමක් ගැනම දිනපතා නොහැකි නම් සතිපතා හෝ තොරතුරු සපයා යාවත්කාලීන කරන ලෙසත් කතානායකවරයා එම ලිපියනේ අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී. අර්බුදයෙන් ගොඩඒම සඳහා සියලු පුරවැසියන් එකම දිසාවක එකම අරමුණෙන් ගමන් කළ යුතු බවත් ඒ හරහා අභියෝගය ජය ගත හැකිවනු ඇතැයි තමා විශ්වාස කරන බවත් කතානායකවරයා ඒ ලිපියෙන් වැඩිදුරටත් පෙන්වා දෙයි.


සුජිත් හේවාජුලිගේ