stationary-price-hike

අභ්‍යාස පොත්, පාසල් බෑග්, සපත්තු ඇතුළු පාසල් උපකරණ මිල දෙගුණයකින් පමණ ඉහළ යාම මෙන්ම අභ්‍යාස පොත් හිඟයක් ඇතිවීම හේතුවෙන් දෙමව්පියෝ දැඩි පීඩාවට පත්ව සිටිති.  එමෙන්ම රට තුළ පවතින කඩදාසි හිඟය  හේතුවෙන් මේ වන විට අහස පොත් හිඟයක් ද පවතින අතර, අභ්‍යාස පොත් වර්ග කිහිපයක දිස්ත්‍රික් නියෝජිතයන්ගෙන් විමසූ අවස්ථාවේ දී ඔවුන් පැවසුවේ තමන් සතුව මේ වන විට අලෙවි කිරීමට අහස පොත් නොමැති බවය. අලුතෙන් ඇණවුම් කළ ද තවම නොලැබුණු බව එම නියෝජිතයෝ පැවසූහ.  මේ වන විට රුපියල් 50ත්ව පැවැති පිටු 80 අභ්‍යාස පොතක මිල රුපියල් 110 දක්වා ඉහළ ගොස් ඇති අතර, රුපියල් 70ක්ව පැවැති පිටු 120ක පොතක මිල රුපියල් 130ක් දක්වාත්, ඉහළ ගොස් තිබේ.



එමෙන්ම සී.ආර් වර්ගයේ පිටු 80ක අභ්‍යාස පොතක මිල රුපියල් 120 සිට 130ක් දක්වාත් ඉහළ ගොස් ඇත. එමෙන්ම බොහොමයක් පොත් අලෙවි සැල්වලට පිටු 160,200 වැනි ප්‍රමාණයේ අලුත් පොත් තාග පැමිණ නැති බව වාර්තා වේ. මෙම අභ්‍යාස පොත් මිල පොත් වර්ගය අනුව වෙනස් වන අතර ඇතැම් පොත්වල මිල ඊටත් වඩා ඉහළ ගොස් ඇතැයි පාසල් ලිපි ද්‍රව්‍ය අලෙවිකරුවෝ සඳහන් කරති. රුපියල් 3ත් 5ත් අතර පැවැති ඡායා පිටපත් ලබා ගැනීමේ ගාස්තුවද මේ වනවිට රුපියල් 12ත් 15ත්, දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තනා වේ. එමෙන්ම මකන කෑලි, පැන්සල්, පෑන් ආදියේ දමිල ඉහළ ගොස් ඇතැයි අලෙවිකරුවෝ පවසති. රුපියල් 10ක්ව පැවැති පෑනක මිල ද මේ වන විට රුපියල් 15ත් 25ත් අතර මිම්ල දක්වා ඉහළ ගොස් තිබේ.



සපත්තු සහ පාසල් බෑග් මිල ගණන් දළ වශයෙන් රුපියල් 1000කින් පමණ ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ. කඩදාසි ඇතුළු අමුද්‍රව්‍ය මිල ඉහළ යාම හා හිඟය හේතුවෙන් මෙම තත්වය මතුව ඇති අතර මේ. හේතුවෙන් ඉදිරියේ දී අභ්‍යාස පොත් මෙන්ම මුද්‍රිත පොත් හිඟයක් මතුවිය හැකි බව ග්‍රන්ථ මුදුණ ආයතන හා පොත් ප්‍රකාශකයෝ සඳහන් කරති. මේ වන විට පොත් ප්‍රකාශකයන් රැසක් කඩදාසි නොමැතිවීම හේතුවෙන් අලුතෙන් පොත් මුද්‍රණය කිරීම නවතා දමා ඇති අතර, ඔවුන් පවසන්නේ පවතින කඩදාසි මිල අනුව මේ වන විට රුපියල් 800කට පමණ අලෙවි කරන පොත් ඉදිරියේ දී රුපියල් 2,000කට පමණ මිල කිරීම සිදුවිය හැකි බවය.  මේ හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට මුහුණ පා ඇති බව ද ඔවුහු පවසති.