ගතවූ සතිය තුළ නාඳුනන වෙඩික්කරුවන් අතින් ඝාතනය වූ හතෙන් හයක්ම රජයේ සාක්ෂිකරුවන් හෝ ඔත්තුකරුවන් විය. අනෙක් පුද්ගලයා පිටකොටුව බස් නැවතුමේ දී නිකරුණේ වෙඩි කෑවේ ඝාතකයාට මුහුණ මාරු වීය. මත්ද්‍රව්‍ය ජාවාරමේ සාක්ෂි විනාශ කිරීම මෙහි පසුපස සිටි කල්ලිවල අභිප්‍රාය විය. මේ සඳහා ඝාතන කල්ලි වෙත තොරතුරු යන්නට වූයේද පොලිස් නිල ඇඳුමේ බලයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්වල දායක වූ දූෂිත නිලධාරීන් පිරිසක් අතින් බව පැවසේ.
පිටකොටුව බස් නැවතුම, පානදුර මාතර ආදි හත්පොළකදී පත්තු වූ වෙඩිවලින් අඩි හයක් පොළොව යට සැඟව ගියේ කුඩු ජාවාරමට සම්බන්ධ පිරිසකි. නැත්නම් ඔත්තුකරුවන්ය. ඔත්තුකාරයෝ පිටුකොටුව බස් නැතුමේදී වෙනත් අයකුද මැරුම් කෑවේ කුඩු ජාවාරම ගැන හෙළි කළ ඔත්තුකරුවන් හා ජාවාරමේම සිට රජයේ සාක්ෂිකරුවන් වූ පිරිසකි.
මෙම පිරිස ජාවාරමුන්ට හිසරදයක් වූ හෙයින් බහුතරය මත් කුඩු ජාවාරම් කරුවන්ගේ කුඩු ප්‍රවාහනය කරන බෝට්ටුවල ක්‍රියාකරුවන් නිසා ඔවුන්ට ලැබෙන තොරතුරු ආරක්ෂක අංශ වෙත යාම හේතුවෙනි.
වෙඩික්කරුවෝ පළමු ඉලක්කය ගත්තේ කොළඹ බැස්ටියන් මාවතේදීය.
ටී 56 අවියකින් ගිනි කෙළි පිටකරමින් වෙඩික්කරුවන් පිටව යන්නේ සාක්ෂියක්වත් නොතබමිනි.
කොන්ත්‍රාත්තුව ලැබෙන්නේ ගණේමුල්ල සංජීව නමින් හිස එසවූ පාතාල නායකයාගෙනි. මිනීමැරුම් හා කොල්ලකෑම්වලට චෝදනා ලද ගණේමුල්ල සංජීව අධිකරණයෙන් ඇප ලබා පිටව ආ විගසින් කඩවතදී දෙදෙනකු ඝාතනය කෙරුණි. කඩවතදී වෙඩි කා මියගියේ කසුන් නමැති සැඟවුණු වෙඩික්කරුවෙකි. මට්ටක්කුලියේ චූටි උක්කුං නමැති පාතාලයාගේ ඝාතනයේ සැඟවුණු චරිතයක් වූ කසුන්ට කොකා ගස්සවන්නේ චූටි උක්කුංගේ බිරිඳ ක්‍රිෂාන්තිගේ උවමනාවට බව පොලිස් පරීක්ෂණවලදී හෙළි විය. චූටි උක්කුං මියගිය පසු ගණේමුල්ල සංජීවගේ පෙම්වතියක වූ ඇය තම සැමියාගේ මරණයේ වාඩුව සංජීව ලවාම ගත්තාය. එම ඝාතනයෙන් පසුව මෝදර වැල්ලේ සාරංගගේ බෝට්ටුවකින් සංජීව ඉන්දියාව බලා පැන ගත්තේය. ගණේමුල්ල සංජීව මෙම සතියේ ප්‍රහාර මාලාවට අත තියන්නේ විදෙස්ගත වූ පසුවය.
පළමු ඉලක්කයට තෝරාගන්නේ බේරුවල ජනක හා ඔහුගේ මස්සිනා වූ ගයාන් චමින්ද ප්‍රනාන්දුය. ගයාන් චමින්ද යනු රටම හෙල්ලූ කුඩු නඩුවක රජයේ සාක්ෂිකාරයෙකි. මේ සිද්ධියේ හරි හැටි පරීක්ෂණ කෙරුණා නම් හිරේ යන පිරිස අතරේ පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළම තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ද සිටියේය.
මේ සිද්ධියට සම්බන්ධ ලංකාවට කුඩු රැගෙන ආ බෝට්ටුවේ පැමිණි බේරුවල පදිංචි ගයාන් චමින්ද ප්‍රනාන්දු (47) මෙම නඩුවේ රජයේ සාක්ෂිකරුවෙකි. කුඩු ජාවාරමුන්ගේ ප්‍රබල ඉලක්කයක් වූ මොහු ඇපමත පැමිණ රැකියාවට කරන්නට වූයේ තැඹිලි කපා ලොරියේ පටවාගෙන ගොස් විකිණීමය. ජීවිත අවදානමක් තිබුණද කිසිදු රැකවරණයක් නොතිබුණු ඔහු ගණේමුල්ල සංජීවගේ ප්‍රධාන ඉලක්කයක් වන්නේ ඒ අතරේය.
ගයාන්ගේ මස්සිනා වූ ජනක බෝට්ටු ස්කීපර්වරයෙකි. ජනකත් ගයාන්ගේ නඩුවට ඇප ලබා සිටින රජයේ සාක්ෂිකරුවෙකි. ගණේමුල්ල සංජීව විදෙස්ගතව කුඩු කිලෝ තුන්සියක ඕඩරයක් තම ඩුබායිහි සගයා වූ ලහිරුට භාර කළේය. ලහිරු යනු කඩවතදී කසුන් ඇතුළු දෙදෙනකු ඝාතනය කරන්නට මුල් වූ අයෙකි. කසුන් මරණය වැළඳගත්තේ ළහිරු දුන් ඇමතුමකට අනුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් ලබාගන්නට යද්දීය. එය ලහිරු හා ගණේමුල්ල සංජීව සැලසුම් කර ගෙන්වාගෙන මාස කිහිපයකට පෙර කළ ඝාතනයක් විය.
ළහිරුගේ කීමට කුඩු කිලෝ තුන්සියය ගොඩබිමට ගෙන ඒමට බෝට්ටුවක් සපයාදීම ජනකට පැවරිණි. ඒ අනුව ජනකට රුපියල් ලක්ෂ 40ක් වියදමට එව්වේය. ජනක එතැනින් ලක්ෂ හතරක් තබාගෙන ඉතිරි මුදල තවත් ස්කීපර් වරයකුට දුන්නේය. ස්කීපර්වරයා මුහුදු ගොස් කුඩු තොගය රැගෙන ඒමට යද්දී නාවික හමුදාවට හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ඔත්තුව ලැබුණේය. ඒ අනුව බෝට්ටුවේ තිබී කුඩු කිලෝ 240ක් අත්අඩංගුවට ගැනුණේය. එතැනින් කුඩු කිලෝ හැටක් සංජීව අතුරුදන් කර ඔත්තුව දුන් බව සැක සිතා සංජීවට ගහන්නට කොන්ත්‍රාත්තුව දුන්නේය.
ඒ අනුව සංජීව කුඩු නඩුවට එතැයි අනුමාන කර වෙඩික්කරුවන් දෙදෙනකු කොළඹට එව්වේය. ජනක හා මස්සිනා වූ ගයාන් මෙතැනදී ඉලක්කය වූයේය. තොරතුරට අනුව වෙඩික්කරුවන් කොළඹ බැස්ටියන් මාවතේදී ටී 56 වෙඩි වරුසාවක් තැබුවේය. එයින් මියගියේ විරාජ් ලක්ෂිත නමැති කමාන්ඩෝ රෙජිමේන්තුවේ රාජකාරි කර ඉන් නීත්‍යනුකූලව ඉවත් වූ සෙබළෙකි. තවත් හිටපු සෙබළෙකු තුවාල ලැබුවේය. අහක යන වෙඩි ප්‍රහාරයක් ඔවුන් කර මත ගියේ ඝාතකයන්ගේ ඉලක්කය වැරැදී යාමෙනි.
මත්ද්‍රව්‍ය ජාවාරමුන්ගේ ඝාතන රැල්ල එතැනින් නැවතුනේ නැත. බේරුවල, මොරගොල්ල ප්‍රදේශයේ දී තැඹිලි එකතු කරමින් ගිය ජනකගේ මස්සිනා වූ ගයාන් චමින්ද වෙඩි තබා ඝාතනය කෙරිණි. ඒ ඉකුත් 03 වැනිදාය. එතැනින් ප්‍රබල කුඩු නඩුවක රජයේ සාක්ෂියක් අහවර විය.
පසුදින (04 වැනිදා) අහංගම පංචාලිය පාසල අසලදී යළිත් වෙඩි පත්තු විය. කසුන් චාමර (26) නමැති දික්වැල්ලේ ට්‍රෝලර් යාත්‍රා හිමිකරුවකු මෙහි දී ඝාතනය විය. ඩුබායිවල සිට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන මිදිගම හරක් කටා නොහොත් නඳුන් චින්තකගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වූවෙකු ලෙස කසුන්ට චෝදනා එල්ල විය. 2021 මැයි මාසයේ දකුණු මුහුදු තීරයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගත් කුඩු තොගය ආ බෝට්ටුවේ සිටියදී කසුන් චාමරවත් අත්අඩංගුවට ගැනිණි. පසුව ඔහු ඇපමත මුදා හැරුණි. මේ කුඩු තොගය ගැන ඔත්තුව දුන්නේ කසුන් චාමර බව හරක් කටා තීන්දු කර තිබුණිද එහි ප්‍රතිඵලය වූයේ කසුන්ට මරණ වරෙන්තුව ලිවීමය. කසුන් චාමර මෝටර් රථයක ගමන් කරද්දී යතුරු පැදිවලින් පැමිණි ඝාතකයෝ ඔහුට වෙඩි තැබූහ. පසුදින (05 වැනිදා) තංගල්ල මොරකැටිආරේදී තවත් වෙඩි ප්‍රහාරයකින් දෙදෙනෙක් තුවාල ලදහ. මෙම ප්‍රහාරයෙන් මියැදුනේ කසුන් චාමර සමග බෝට්ටුවේ ගිය අනිත් පුද්ගලයාය. ඔහු ඝාතනය කර තිබුණේ කුඩු බෝට්ටුවේ ඔත්තුව දුන් බවට සැකකරය.
පානදුර නිර්මල මාවතේදී වාද්දුවේ පදිංචි රන්දික ද සිල්වා වෙඩි තබා ඝාතනය කෙරුණේද මේ අතරේය. විදෙස්ගතව සැඟවී මහා පරිමාණ කුඩු ජාවාරමක් කරවන පානදුරේ කුඩු සලිඳු මෙම ඝාතනය පිටුපස සිටියේය. කුඩු සලිඳුගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ වී සිට එය ගැන ආරක්ෂක අංශ වෙත තොරතුරු දුන් චෝදනාවට මෙම ඝාතනය කරවා ඇත්තේ සලිඳු විසින් බව සලිඳුගේ කුඩු ගැන ඔත්තු දුන් කිහිපදෙනකුම පසුගිය සති ගණනාවකදීම විටින් විට කපා කොටා දමා තිබිණි.
මෙම ඝාතන රැල්ලෙන් නොනැවතී මත්ද්‍රව්‍ය ජාවාරමුන් මත්ද්‍රව්‍ය ජාලය ගැන පරීක්ෂණ පැවැත් වූ හා පවත්වන පොලිස් නිලධාරීන් ඝාතනය කිරීමටද සූදානම් වන බව බුද්ධි අංශ හෙළිකරගෙන තිබුණි. එම ලැයිස්තුවේ හිටපු ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා හා ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය ද සිටිති.
පාතාල මර්දනයට හා මත්කුඩු ජාවාරම් මැඬලීමට ක්‍රියාකල දක්ෂ නිලධාරීන් දෙදෙනකු වූ ඔවුහු පොලිස් සේවයේ නව උසස්වීම්වලදී වූ අසාධාරණය ගැන කලකිරී පොලිසියෙන් ඉවත් වූහ.
ප්‍රධාන පෙළේ පාතාල නායකයෙක් වූ රණාලේ සමයං විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුල සිල්වා වරෙක අධිවේගී මාර්ගයේදී ඝාතනය කිරීමට සැලසුම් කළේය. මාකඳුරේ මධුෂ් විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මප්‍රියව තමන් කියන තැනකට රැගෙන විත් දෙන්නේ නම් රුපියල් ලක්ෂ 30ක් දෙන බව පවසා තිබුණි.
කෙසේ නමුදු උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ජාතික ආරක්ෂක මණ්ඩලයෙන් පවා අවධානයට ලක් වී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන දැනට පරීක්ෂණ පවත්වන නිලධාරීන් මෙන්ම එවැනි පරීක්ෂණ පවත්වා පොලිසියෙන් ඉවත්ව ගිය පසු තර්ජනයට ලක්ව ඇති නිලධාරීන්ට ආරක්ෂාව සැපයීමට ආරක්ෂක කවුන්සිලයේදී තීරණය විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වහාම පොලිස්පතිවරයාට නියෝග කළේ එම නිලධාරීන්ගේ ආරක්ෂාව තරකිරීමට කටයුතු කරන ලෙසය.
(තිස්ස රවීන්ද්‍ර පෙරේරා -අරුණ)
0 Comments