විවාහ මංගල්‍යය සුපිරි හෝටලයක පැවැත්වීමට නියමිතව තිබූ දවසේ මනාලියගේ මව මනමාලයාට අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා බලවණේ සිත් තැවුලට පත්වූ බව කියන මනමාලයා මේ සම්බන්ධයෙන් පැමිණිල්ලක් කළ බව කැස්බෑව පොලිසිය කියයි. විවාහ මංගල්‍යය පැවැත්වීමට නියමිතව තිබූ හෝටලයට මනමාලයාගේ සහ මනමාලියගේ පාර්ශ්ව යෙන් ලක්ෂ 6 ක මුදලක් ගෙවා තිබූ බවද මේ හා සම්බන්ධව කළ පැමිණිලි විභාගයේදී අනාවරණය වී ඇති බව කියති. මල් කුමාරියන් ලෙස සිටීමට නියමිතව සිට ඇත්තේ මනමාලියගේ සහෝදරයකුගේ දියණියන් දෙදෙනෙකු වන අතර මල් කුමරියන් දෙදෙනාට සපත්තු ජෝඩු දෙකක් මිලදී ගෙනදී ඇත්තේ මනමාලයා විසින් බවද පැවසේ. සපත්තු ජෝඩු දෙක ලොකු වැඩි බවට මනමාලියගේ සහෝදරයාගේ බිරිඳ විවාහ මංගල්‍යයට පෙර දිනයේ මනමාලයා හමුවූ අවස්ථාවේ චෝදනා කිරීම නිසා කෝපයට පත්වූ බව කියන ඔහු ඇයට තදින්ම බැණවැදී ඇති බවද දැන ගන්නට ඇත.
මනමාලයා පොඩි දෙයකටත් තදබල ලෙස කේන්ති යන අයකු බව මනමාලියගේ පාර්ශවයේ අය පැමිණිලි විභාගයේ දී පැවසූ බව පොලිසිය කීය. තමුසේ වගේ කේන්ති කාරයකුට මගේ නෑනා දෙන්නේ නැහැ යැයි කියා ඇය පවසා ඇති බවද කියති. මෙම සිද්ධිය මනමාලියගේ පාර්ශ්වයෙන් මනමාලයා ප්‍රතික්ෂේප කිරීමට හේතුවී ඇතැයි පොලිසිය කියයි. ගල්කිස්ස සහකාර පොලිස් අධිකාරි සාරනාත් සමරකෝන් මහතාගේ උපදෙස් මත කැස්බෑව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මලින්ද අබේරත්න මහතාගේ මෙහෙයවීම යටතේ දෙපාර්ශ්වයම කැඳවා පැමිණිල්ල විභාග කළ අවස්ථාවේ මෙම තොරතුරු අනාවරණය වී ඇති බව දැන ගැනීමට තිබේ.
පොලිසිය පවසන ආකාරයට යෝජනාවකට අනුව වසර 02 ක පමණ කාලයක් දෙදෙනා ආශ්‍රය කර දෙපාර්ශ්වයේ ආශිර්වාදය මැද විවාහ මංගල්‍යය ජයටම ගැනීමට දින නියම කර ගෙන ඇත. විවාහ මංගල්‍යය දිනයේ අලුයම මනමාලිය මනමාලයාට ජංගම දුරකථනයෙන් කතා කර රූපලාවන්‍යාගාරයට යෑමට මෝටර් රථයක් එවන ලෙස පැවසීම නිසා මනමාලයා මෝටර් රථයකින් ඔහුගේ මිතුරකු පිටත්කර යවා තිබේ. මිතුරා මනමාලියගේ නිවසට ගිය අවස්ථාවේ මනමාලියගේ මව මේ මගුල කෙරෙන්නේ නැහැ යනුවෙන් කියා දොර වසාගෙන ඇති බව පොලිසිය පවසයි. මිතුරා මේ බව මනමාලයාට පැවසීමෙන් පසුව ඔහු මනමාලියට දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට අවස්ථා ගණනාවකදීම උත්සාහ කර ඇතත් නොහැකිවී ඇති බව කියති.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -ලංකාදීප)
0 Comments