work-at-home-two-weeks

ඉන්ධන අර්බුදය හේතුවෙන් අද (17) සියලු පාසල්වලට නිවාඩු පිරිනමා තිබෙන අතර පාසල් නිවාඩුව දීමට වඩාත් බලපෑවේ වෑන් රථ හිමියන්, බස් රථ හිමියන් සීමිත ධාවනයකට යොමුවීමයි.


මේ හේතුවෙන් පසුගිය සතිය පුරාම අඩුවෙන් සිසුන් පාසල් පැමිණි අතර රජය තීරණයක් ගත්තේ බ්‍රහස්පතින්දාය.
කෙසේ වෙතත් නැවත ලබන 20 සඳුදා පාසල් විවෘත කරන බව පැවසෙතත් එම තීරණය වැට උඩ පවතින්නේ රජය මගින් අර්බුදය සමනයට යම් හෝ දායකත්වයක් ගන්නා බව නොපෙනෙන නිසාය.
මේ අතර පාසල් සිසුන්ට බලපා ඇති පොදු ප්‍රවාහන ප්‍රශ්නය ඒ සමාන අයුරින්ම කාර්යාල සේවකයන්ටද බලපා ඇති නිසා මේ වනවිට සිකුරාදා වගා නිවාඩුවක් ලබාදී ඇති අතර එයද ප්‍රමාණවත් නැති බව පෙනී ගොස් ඇත. පසුගිය කොරෝනා වසංගත සමයේ පුරුදුවූ පරිදි නැවත නිවසේ සිට වැඩ කරන ක්‍රමයකට යාමේ අවශ්‍යතාව පෙන්වා දී ඇත.නිවසේ සිට වැඩ කිරීම කළහොත් ප්‍රවාහනය සදහා අවශ්‍ය දෛනික ඉන්ධන විශාල ප්‍රමාණයක් රජයට ඉතිරිවේ.


මෙම කාරණා සැලකිල්ලට ගනිමින් ලබන සඳුදා සිට සතියක් හෝ සති දෙකක කාලයක් සියලු රාජ්‍ය ආයතන සහ පාසල් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද වාර්තාවේ. පුද්ගලික අංශයට අදාළ තීරණ ඒ ඒ හාම්පුතුන් ලබාගත යුතු බැවින් රජය ඒ ගැන යෝජනාවක් පමණක් කරනු ඇත.
අවසන් තීරණය අද (17) පැවැත්වෙන විශේෂ සාකච්ඡාවකදී ගන්නා අතර අද දවල් ඒ බව දන්වා සිටීමට නියමිතය.