Gotabaya-signs-his-resignation

ජූලි 13 වැනි දිනට යෙදී තිබූ සිය ඉල්ලා අස්වීමේ ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (11) අත්සන් තැබූ බව ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කර තිබේ. මෙම ලිපිය හෙට (13) පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් ප්‍රසිද්ධියේ ජාතියට ප්‍රකාශ කරනු ඇත.

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට භාරදුන් බවත් පසුව ඔහු එය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත භාරදී ඇතැයිද වාර්තා විය.
මින් පෙර අවස්තා දෙකකදීම කතානායකවරයා සහතිකවූ ආකාරයට එම ලිපිය පිළිබඳව දැනුම් දී ඇති කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් කළ බවට හෙට ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය.

රාජපක්ෂ මහතා 09 වනදා කලබලයට ටික වේලාවකට පෙර භූගත බංකරයේ රහසිගත පිටවුම් දොරින් කොළඹ වරාය වෙත පිටවූ බවට මේ වනවිට ආරංචි පවතී.

අනතුරුව නෞකාවක නැගුණ ඔහු ත්‍රීකුනාමලය වෙත යාත්‍රා කළ අතර ඊයේ 11 වනදා තෙක් ත්‍රීකුනාමල නාවික හමුදා කඳවුරට අයත් දූපතක පිහිටි නවාතැනෙහි ලැගුම් ගත්තේය.
 රාජපක්ෂ මහතා ඊයේ උදෑසන 9.30 ට පමණ හෙලිකොප්ටරයකින් රත්මලාන වෙත පැමිණි බවත් පසුව ත්‍රිවිධ හමුදාපතිවරුන් මුණගැසී  ඇති බවත් මේවනවිට ආරංචි වේ.
කතානායකවරයා බීබීසී පොඩ් කාස්ට් වැඩසටහනකට කියා සිටියේ ජනපති රටින් බැහැර බවයි. පසුව ඔහු කියා සිටියේ ලංකාවේ බවයි.
එම කතාව සත්‍යයක් විය හැකි අතර දැනට වාර්තාවන්නේ කටුනායක කඳවුරක ජනපති රැඳී සිටින බවයි. ඔහු ඩුබායි බලා පළායාමට සූදානමින් පසුවන බවට ඊයේ රාත්‍රිය වනවිට ආරංචි ලැබිණි. ඒ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම කතානායක නිවේදනය කරන නමුත් ගෝඨාභය මින් පසුව ජනතාව ඉදිරියේ පෙනී නොසිටිනු ඇත.
දැනට වාර්තාවන වැඩසටහන අනුව ජනපතිගේ ඉල්ලා අස්වීම 13 වනදා නිවේදනය කළ පසුව රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා දින 07 ක් සඳහා තාවකාලික ජනපතිවරයෙකු ලෙස ව්‍යවස්තාව අනුව ඉබේම පත්වේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ලබන බදාදා පාර්ලිමේන්තුව විසින් නව ජනාධිපතිවරයකු තෝරා ගන්නා තෙක් තාවකාලිකව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙනු ඇත.


 කථානායක මහින්ද යාපා අබේවර්ධන ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් මගින් ජූලි 20 වැනිදා නව ජනාධිපතිවරයකු තෝරා පත් කර ගැනීමට පක්ෂ නායකයන් තීරණය කළ බවයි.
ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවීම ජූලි 19 වැනිදා සිදු කෙරේ. දැනටමත් සජිත් ප්‍රේමදාස ඊළඟ ජනපති වීම සඳහා සජබ අපේක්ෂකයා ලෙස තෝරාගෙන ඇත. විවිධ මාධ්‍ය ඔස්සේ ඩලස් අලහප්පෙරුමද අපේක්ෂකයෙකු ලෙස නම් කළත් තවම එම පක්ෂය තහවුරු කිරීමක් සිදු කර නැත. අනුර කුමාර තරගයට ඉදිරිපත් නොවන ආකාරයක් ඔහුගේ කතාවෙන් පැහැදිලිවේ. මේ අතර ජනාධිපති නීතීඥ සාලිය පීරිස්ගේ නමද ජනපති ධූරයක් සඳහා පිරිසක් නම් කළත් ඔහු දේශපාලනයට නොඑන බවට නිල ප්‍රකාශයක් ඊයේ සිදු කළේය. පාඨලී චම්පික රණවකද ජනපති ධූරය සඳහා අපේක්ෂාවෙන් පසුවන බව ඔහුගේ 43 වන සේනාංක නිවේදන අනුව පෙන්නුම් කරයි.
ලබන සතියේ මේ අයගෙන් කෙනෙකු ජනපති ලෙස තෝරාගැනෙනු ඇත.
කෙසේ වෙතත් ජුලී 9 අරගලයේ පෙරගමන් කරුවන්වූ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ‘සර්ව පාක්ෂික‘ ආණ්ඩු සංකල්පය බැහැර කර තිබේ. ඔවුන් ඉල්ලන්නේ ඔවුනගේ ඉල්ලීම් දිනාගත හැකි අන්තර්වාර පාලනයකි.