Only-China-and-Russia-congratulated-President-Ranil

ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම තනතුරට පත්වූ පසු මේ වනතෙක් සුබපැතුම් පණිවිඩ එක්කර ඇති බලවත් රටවල් වන්නේ චීනය හා රුසියාවයි.


චීන ජනාධිපති ෂී ජිංපින් විසින් මෙරට චීන තානාපතිවරයා හරහා මීට දින දෙකකට පමණ පෙර සුබපැතුම් පනිවිඩයක් එවා තිබූ අතර තානාපතිවරයා පණිවිඩය වික්‍රමසිංහ මහතා වෙත භාරදී ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ ශ්‍රී ලාංකික ජනතාවට ආධාර සහ සහාය ලබාදීමට තමන් බලාපොරොත්තුවෙන් සිටින බව චීන ජනාධිපතිවරයා සිය පණිවිඩයෙන් දන්වා තිබුණි.
මේ අතර රුසියානු ජනාධිපති වැලැදිමිර් පූටින් මහතාද ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් එක්කරමින් පණිවුඩයක් නිකුත් කර තිබේ.

මෙරට රුසියානු තානාපති කාර්යාලය වෙත ඊයේ සවස රුසියානු භාෂාවෙන් එවා තිබු එම සුබ පැතුම් පණිවුඩයේ ඉංග්‍රීසි පරිවර්තනය අද උදෑසන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇත.



“අපේ ජනතාවගේ ප්‍රතිලාභ සහ කලාපීය ස්ථාවරත්වය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය සඳහා විවිධ ක්ෂේත්‍රවල සාධනීය ද්විපාර්ශ්වික සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීම සඳහා රාජ්‍ය නායකයා ලෙස ඔබගේ ක්‍රියාකාරකම් කෙරෙහි මම විශ්වාසය තබමි,” රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එම ලිපියේ සඳහන් කර ඇත.