basil-still-sri-lanka

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් එස් ආර් ආටිගල යන අය හෙට (15)  දින දක්වා විදේශගතවීමක් නොකරන බවට සිය නීතිඥවරු මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අද ප්‍රතිඥාවක් ලබා දී තිබේ.



මෙම ප්‍රතිඥාව අනුව බැසිල් රාජපක්ෂ මහතා තවමත් ශ්‍රී ලංකාවේ සිටින බව අනාවරණය කර ඇති අතර ඊයේ බීබීසී වාර්තාවකින් කියැවුනේ ඔහු ඉන්දියාව හරහා ඇමරිකාවට ගිය බවය.බැසිල් රාජපක්‍ෂ කටුනායක හෝ මත්තල ගුවන්තොටුපොළ හරහා මගී නිෂ්කාෂන කටයුතු කර නොගත් බව ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සංගමයේ සභාපති කේ.ඒ.ඒ.එස්. කණුගලද පවසා තිබුණි.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින මෙම පිරිස වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් එම ප්‍රතිඥාව ලබාදී ඇත.

මේ අතර මෙම පෙත්සමේ තවත් වගඋත්තරකරුවකු වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් වෙනුවෙන් නීතිඥවරයකු පෙනී නොසිටීම හේතුවෙන් ඔහුට හෙට දින දක්වා විදේශගතවීම වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කරනු ලැබීය.

මෙම පෙත්සමට අදාළ මෝසම අද අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී.දෙහිදෙණිය යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.



වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව විමර්ශනයක් පවත්වන්නැයි නියෝග කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න ඇතුළු පිරිසක් මෙම පෙත්සම ගොනු කර තිබුණි.

තමා හට ශ්‍රී ලංකාවෙන් පිට වීමට අදහසක් නොමැති බවද, එසේ පිට වන්නේ නම් අධිකරණයෙන් අවසර ලබා ගන්නා බවටද හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් දන්වා ඇත.

රටේ පවතින වත්මන් ආර්ථික අර්බුදයට වග කිව යුත්තන්ට එරෙහිව පරීක්ෂණ කැඳවන මෙන් ඉල්ලා අධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමක් අද (14) විභාගයට ගත් අවස්ථාවේ, ඔහු විසින් නීතීඥයෙකු මාර්ගයෙන් මේ බව අධිකරණයට දන්වා තිබේ.