baticaloa-mother-kill-baby

තම නිවසේ සේවිකාවක වශයෙන් කටයුතු කළ කාත්තාවක ප්‍රසූත කළ බිළිඳා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියන වෛද්‍යවරයෙකු එම සිද්ධියෙන් වසර 5 කට පසුව පෙරේදා (25) අත්අඩංගුවට ගත් බව මඩකලපුව මූලස්ථාන පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ මහනුවර ජාතික රෝහලේ සේවය කරමින් සිටි කල්මුණේ සයින්දමරුදු ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකි. සැකකාර වෛද්‍යවරයා මඩකලපුව ශික්ෂණ රෝහලේ සේවය කරමින් සිටි 2017 වසරේ මාර්තු මාසයේදී මෙම සිද්ධිය වී ඇති බව පොලිස් පරික්ෂණවලින් හෙළිවී ඇත.

වෛද්‍යවරයා ඔහුගේ වෛද්‍ය බිරිඳ හා එවකට වසරක පමණ වයසේ පසු වූ දියණිය ද සමඟ මඩකලපුව උඩුමහල පාරේ නිවස කුලියට ගෙන එහි පදිංචිව සිට ඇතැයි පොලිසිය කියයි.ව

ෛද්‍ය යුවළගේ දියණිය රැකබලා ගැනීමට එම නිවසේ ගෘහ සේවිකාවක වශයෙන් කල්මුනේ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක වන ඇය සේවය කර ඇතැයිදපොලිසිය පවසයි. වෛද්‍ය අඹුසැමි යුවළ පදිංචිව සිටි නිවසේ ගෙවත්තේ පිහිටි ළිඳකින් දුගඳක් වහනය වීමෙන් පසුව අසල්වාසීන් එම වසරේ මාර්තු මස 31 වැනි දා එම ළිඳ ඉසීමේදී පොහොර උරයක බහා තිබූ බිලිඳු පිරිමි මළසිරුරක් සොයාගෙන ඒ බව පොලීසියට පැමිණිලි කර තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා එම වකවානුවේදී බිලිඳා ප්‍රසූත කළ බව කියන ගෘහ සේවිකාව අත්අඩංගුවට ගෙන මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කරන ලදුව රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබුවාය.

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට මේ සම්බන්ධයෙන් මෑතකදී ලැබුණු පැමිණිල්ලක් මත අලුතින් පරීක්ෂණයක් ආරම්භ කළ බව මඩකලපුව මූලස්ථාන පොලිසිය කියයි.

පොලිස්පතිවරයාගේ නියමයෙන් අලුතින් පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය අදාළ කාන්තාවගෙන් නැවත ප්‍රකාශයක් ලබා ගත් බව පොලිසිය කීය. වෛද්‍ය බිරිඳ නිවසේ නොමැති අවස්ථාවක දරුවා ප්‍රසූත කළ බවත් වෛද්‍යවරයාගේ කීම මත උපන් හැටියේම බිලිඳාගේ හුස්ම හිර කර දරුවා ඝාතනය කළ බවත් ඇය පොලීසියට පවසා ඇතැයි කියති. බිලිඳු සිරුර කලපුවකට දැමීමට වෛද්‍යවරයා උපදෙස් දුන් නමුත් ප්‍රසූත වේදනාව නිසා බිලිඳා ගෙවත්තෙන්ම පිහිටි ළිඳට දැමූ බවත් එම කාන්තාව පාපෝච්චාරණය කළේ යැයි පොලිස් නිලධාරියෙක්  පැවැසීය. මෙම තොරතුරු අනාවරණය වීමෙන් පසුව බිලිඳා ඝාතනය කිරීමට ආධාර අනුබල දුන් බව කියමින් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-