කුරුණෑගල පොල්ගහවෙල යක්ගහපිටිය ප්‍රදේශයේ පිහිටි IOC ඉන්ධන පිරවුම්හලක් අසලදී එහි ආරක්ෂාව භාරව සිටි යුද හමුදා උසස් නිලධාරියකු පුද්ගලයකුට පහරදීම සම්බන්ධයෙන් පොලිසිය හා යුද හමුදාව 4 දින විධිමත් පරීක්ෂණයක් ඇරැඹූහ.
ඒ එම හමුදා නිලධාරියා පුද්ගලයාගේ පපුව ප්‍රදේශයට පයින් පහරක් එල්ලකිරීම සම්බන්ධයෙනි.
මෙම සිද්ධියට අදාළ දර්ශන සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වීමත් සමඟ මෙම පියවර ගෙන ඇත.
යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ආයතනික මට්ටමෙන් විමර්ශනයක් අරඹා ඇති බවය. ඒ එම නිලධාරියාගේ ක්‍රියාකලාපය නොගැළපීම නිසා බව කියැවේ. මේ සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
රටේ පවතින දැඩි ඉන්ධන අර්බුදය හේතුවෙන් ඉන්ධන ලබාගැනීම සඳහා මෙම ඉන්ධන පිරවුම්හල අසල දින ගණනාවක් තිස්සේ දිගු පෝලිමක් තිබී ඇත. එහෙත් ඉන්ධන ලබාගැනීමේ ප්‍රමාදයත් ඉන්ධන නිසි ආකාරයට ලබානොදීම හේතුවෙනුත් පෝලිමේ රැඳී සිටි පිරිසක් හා යුද හමුදා භටයන් පිරිසක් අතර උණුසුම්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.
එම අවස්ථාවේදී හමුදා නිලධාරීන් දෙදෙනකු එක් පුද්ගලයකු අල්ලාගෙන ඔහු ඉන්ධන පිරවුම්හල අසල සිටි උසස් නිලධාරියා වෙත ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ එම නිලධාරියා අල්ලාගෙන සිටි පුද්ගලයාට පා පහරක් එල්ල කර ඇත.
මේ සිද්ධිය ඒ අසල සිටි පුද්ගලයන් වීඩියෝ ගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබේ.
සිද්ධියත් සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වය පොලිසිය එක්වී පාලනය කර ඇති බවද වාර්තා වේ.
කීර්ති මෙන්ඩිස් (mawbima)
0 Comments