The-kidney-of-the-young-man-who-fell-from-the-tree-during-the-struggle-is-donated

කොළඹ- කොටුව ගාලු මුවදොර පිට්ටනියේ ජන අරගලයට සහාය දැක්වීමේ අරමුණින් ගසකට නැග බැනරයක් එල්ලීමට ගිය අවස්ථාවේ ගසින් ඇද වැටී මොළයට හානි වීම නිසා මොළේ මියගිය තම 25 හැවිරිදි පුතාගේ  වකුගඩු දෙක රෝගීන් දෙදෙනකුට බද්ධ කිරීම සදහා දන් දුන් බව එම තරුණයාගේ පියා වන පොලොන්නරුව පදිංචි  ලයනල් මල්දෙණිය මහතා ඊයේ (19) පැවසිය. වකුගඩු රෝගීන් දෙදෙනකුට බද්ධ කිරීමට ශල්‍යකර්මයක් සිදුකර වකුගඩු දෙක ඉවත් කරගනු ලැබුවේ පොලොන්නරුව මගුල්දමන පැලදමියාව ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි එම්.ජී. කනිෂ්ක සඳරුවන් මල්දෙණීය නමැති තරුණයෙකි.



මෙම වකුගඩු දෙක රෝගීන් දෙදෙනකුට බද්ධ කිරීම සිදුකරනු ලැබුවේ මහනුවර ජාතික රෝහලේ රුධිරවාහිනී සහ අවයව බද්ධ කිරීම් පිළිබඳ විශේෂඥ වෛද්‍ය පී. සුබ්‍රමනියම් මහතා සහ පොලොන්නරුව වෘක්කවේද ජාතික රෝහලේ රුධිරවාහිනී හා අවයව බද්ධ කිරීම පිළිබද විශේෂඥ වෛද්‍ය බුද්ධිමා ජයවික්‍රම මහත්මිය විසිනි. පොලොන්නරුව මහ රෝහලේ සහ මහනුවර ජාතික රෝහලේ සිදුකරන ලද වකුගඩු බද්ධ කිරීම් සාර්ථකවී ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් දෙදෙනා සුවය ලබමින් පසුවන බව පොලොන්නරුව වෘක්කවේද ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති මොළේ මියගිය අයගේ අවයව ලබා ගැනීමේ ඒකකය බාර වෛද්‍ය දුලාජ් කුලතුංග මහතා  පැවසීය.

මව හා පියා ඇතුළු පවුලේ අයගේ පූර්ණ කැමැත්ත ඇතිව මොළේ මිය ගොස් සිටි මෙම තරුණයාගේ වකුගඩු දෙක රෝගීන් දෙදෙනකුට බද්ධ කිරීම සඳහා ලබාගත් බවද වෛද්‍ය දුලාජ් කුලතුංග මහතා කීය. ප

ොලොන්නරුව වෘක්කවේද ජාතික  රෝහලේ සහ පොලොන්නරුව මහ රෝහලේ අධ්‍යක්‍ෂ විශේෂඥ වෛද්‍ය එම්. කේ . සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුළු නිර්වින්දන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයෙන් මෙම කටයුත්ත සාර්ථක කර ගැනීමට සුවිශේෂි දායකත්වයක් ලැබී ඇත. මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති මොළේ මියගිය අවයව බද්ධ කිරීමේ සම්බන්ධීකරණ ඒකකයේ කාර්ය බාර හෙද නිලධාරි ටී.එන්. දිනුර රත්නායක හා එහි සහකාර හෙද නිලධාරි ආර්.එම්. ජයවර්ධන යන මහත්වරුන්ගේද සහාය මේ කාර්ය කරගැනීම සඳහා ලැබී තිබේ. සඳරුවන් තරුණයාගේ පියා ලයනල් මල්දෙණිය මහතා පොලොන්නරුව ලංගම ඩිපෝවේ බස් රථ රියදුරෙකි.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-