cabinet-meeting-economy

කැබිනට් මණ්ඩලය රැස් නොවීම නිසා ඉන්ධන ඇතුළු හදිසි මිලදී ගැනීම් කිසිවක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට හා රජයේ සේවකයනිට ජූලි වැටුප ගෙවීමට නොහැකිව ආර්ථික කටයුතු ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරයා රටින් පැනීමේ උවමනාවෙන් තැන් තැන් වල සිටි කාලයේ  කිසිවෙකු සහභාගී නොවීම නිසා සඳුදා(11) දින පැවැත්වීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල රැස්වීම දින නියමයක් නැතිව කල් යාමෙන් මෙම අර්බුදය උද්ගත වී තිබේ.



මෙම තත්වය යටතේ පක්ෂ නායක රැස්වීම හරහා ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය මිලදී ගැනීම් සඳහා විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයාට බලය පැවරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ උත්සාහ කරතිබුණත් නීතිමය ගැටලු මත එය සිදු නොවීය.

ශ්‍රී ලංකා මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර දේශීය බැංකු විසින් ප්‍රාග්ධන වෙළෙඳපොළෙන් ඩොලර් මිලියන 128ක් ලබා ගැනීමට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබිණි.

ජූලි මස 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා කාලයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ඔටෝ ඩීසල්, ඉන්ධන තෙල් සහ බොරතෙල් තොග තුනක් සඳහා මෙම ගෙවීම් වෙන්කර තිබු බව රජයේ ප්‍රකාශකයෙක් කීය.

එම නෞකා තුන සඳහා ජූලි මස 12 දින ඩොලර් මිලියන 61.72ක් (රුපියල් බිලියන 22,650ක්) එදින ම තවත් ඩොලර් මිලියන 28.26ක් (රුපියල් බිලියන 10,371ක්) සහ ජූලි මස 17 දින ඩොලර් මිලයන 89.04ක් (රුපියල් බිලියන 32,678ක්) ගෙවීමට තිබිණි.

මෙම ගෙවීම් කිරීමට නොහැකි වුවහොත් තෙල් නැව් සඳහා ඉදිරිපත් කළ ඇණවුම් අවලංගු වන අතර තෙල් සැපයුම තවදුරටත් ප්‍රමාද වනු ඇතැයි ද මීට අමතරව නොරොච්චෝලේ බලාගාරය සඳහා ගල් අඟුරු ලබා ගැනීමට කැබිනට් අනුමැතිය අවශ්‍යව තිබෙන බවද වාර්තා විය.

එමෙන්ම දැනටමත් පවත්නා පැය තුනක විදුලිය කපා හැරීම දිර්ඝ කිරීමකින් තොරව එලෙසම පවත්වා ගැනීම සඳහා මෙම තෙල් තොගය ලබා ගැනීම අවශ්‍ය වී ඇතැයි ද වාර්තා විය.



පවතින වාතාවරණය හමුවේ මෙම මාසයේ රජයේ සේවකයන්ට නියමිත දිනට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් ද ගැටලු සහගත තත්ත්වයක් ඇතිව ඇතැයි වාර්තා වේ.

වැටුප් ගෙවීම සඳහා මුදල් මුද්‍රණය කළ යුතු වන අතර ඒ සඳහා කැබිනට් තීරණයක් ගත යුතුවීම ඊට හේතුවයි.
හදිසි කැබිනට් රැස්වීමක් නොකැඳවුවහොත් මෙම මස 25 වැනිදාට වැටුප් ගෙවීමට නොහැකි වනු ඇතැයි පැවසේ.
මුදල් මුද්‍රණය කිරීමට නීතිමය අවකාශ සැලසෙන්නේ කැබිනට් තීරණය මුදල් මණ්ඩලයට යොමු කිරීමෙන් පසුව ය.
අතිකාල, නිවාඩු, ජීවන වියදම් වැනි සියලු දීමනා හැර වැටුප් සඳහා පමණක් මාසයකට අවශ්‍ය වන මුදල රුපියල් බිලියන විසි නවයක් පමණ වන බවද වාර්තා වේ.