මේ මස 16 වැනිදා මෙරට මුහුදු සීමාවට පැමිණි ඩීසල් මෙට්‍රික්ටොන් හතළිස්දහසක් ප්‍රමාණය මිලදී ගැනීමට මෙතෙක් වැඩපිළිවෙළක් සකස්කර නොමැති බවත්, මේ නිසා පසුගිය 18 වැනිදා සිට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බවත් තෙල්, වරාය, විදුලි සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. අදාළ නැවට දිනකට ඩොලර් 18,000ක ප්‍රමාද ගාස්තු වශයෙන් ගෙවීමට සිදුව තිබෙන බවත්, මේ අනුව අද (29)දා දිනය වනවිට දින 10ක කාලයකට ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදුව තිබෙන බවත් එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය.
මෙම නැවේ අඩංගු ඩීසල් මිලදී ගැනීමට ඩොලර් මිලියන් 52ක මුදලක් අවශය බවද හෙතෙම පවසා සිටියේය.
බොරතෙල් නොමැති වීම නිසා පිරිපහදුව වසා දමා ඊයේ (28දා) දිනට මාසයක කාලයක් ගත වී තිබෙන බවත්, පිරිපහදුව වසා දමා තිබුණත් සේවකයන්ට මාසයකට රුපියල් කෝටි 16ක වැටුප් හා දීමනා ගෙවීමට සිදුවන බවත් ආන්නද පාලිත මහතා සඳහන් කළේය. එසේම බොරතෙල් ගෙන්වා දිනකට බොරතෙල් මෙට්‍රික්ටොන් 5,500ක පිරිපහදු කිරීමේදී දෛනිකව රටට අවශ්‍ය භූමිතෙල් හා විදුලි බලාගාරවලට අවශ්‍ය දැවිතෙල් හා නැප්තා ඉන්ධන සම්පුර්ණයෙන්ම ලැබෙන බවත්, ඩීසල් මෙට්‍රික්ටොන් 1,600ක්, පෙට්‍රල් මෙට්‍රික්ටෝන් 600ක් හා ගෑස් යම් ප්‍රමාණයක් හා තාර ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය. බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 93ක් බවත්, පිරිපහදු කළ ඉන්ධන බැරලයක මිල ඩොලර් 122ක් වන අතර, මේ නිසා බොරතෙල් ගෙන්වා පිරිපහදු කළහොත් රටට විශාල වාසි ප්‍රමාණයක් අත්වන බවත් ආන්නද පාලිත මහතා පවසා සිටියේය.
එහෙත් ඇතැම් නිලධාරීන්ගේ වැඩි කැමැත්ත තිබෙන්නේ,
පිරිපහදුව වසා දමා පිරිපහදු ඉන්ධන ගෙන්වීමට හා ඉන්ධන නැව් ගෙන්වා මුහුදේ නතර කර තබා ප්‍රමාද ගාස්තු ගෙවීමට බවත්, කිහිපදෙනෙකු විසින් සිදුකරන මෙම ක්‍රියා නිසා සමස්ත ජනතාවට දුක් විඳීමට සිදුවන බවත් හෙතෙම සඳහන් කළේය. පවතින තත්ත්වය තුළ වාහන හිමියන්ට ඉන්ධන හිඟයකට මුහුණදීමට සිදුව තිබෙන බවත්, යාත්‍රාවලට අවශ්‍ය භූමිතෙල් නොමැති වීම නිසා ධීවරයන්ට රැකියා අහිමි වී තිබෙන අතර,
දැවිතෙල් නොමැති වීම නිසා විදුලි බලාගාර කටයුතුවලට බලපා තිබෙන නිසා විදුලි කප්පාදු කිරීමට සිදුව තිබෙන බවත් ආන්නද පාලිත මහතා ප්‍රකාශ කර සිටියේය මීට අමතරව භූමිතෙල් ලිප් භාවිත කර ආහාර සකස් කර ගන්නා ජනතාවට අවශ්‍ය භූමිතෙල් නොමැති වීම නිසා ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත්, කර්මාන්තශාලාවට අවශ්‍ය දැවිතෙල් නොමැති වීම නිසා කර්මාන්ත කටයුතු අඩපණ වී තිබෙන බවත් හෙතෙම පැවසීය. එසේම ගෑස් යම් ප්‍රමාණයක් නිෂ්පාදනය වීම නිසා ගැස් නොමැති ගැටලුවට යම් විසඳුමක් ලැබෙන බවත්, මේ නිසා සිදුකළ යුතු වන්නේ, පිරිපහදුව ක්‍රියාත්මක කිරීමට කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කිරීම බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කළේය.
0 Comments