කාරයේ තිබූ ඉන්ධන යතුරුපැදියට බටයකින් දැමීම සඳහා කටින් පෙට්‍රල් ඇදීමේදී පෙනහළු වලට පෙට්‍රල් යොමුවීම නිසා පසුව විෂබිජයක් ශරීරගතවී රුධිර විෂවී නිව්මෝනියාව හේතුවෙන් මියගිය වෛද්‍යවරයකු ගැන සංවේදී පුවතක් වාර්තාවේ.
මෙසේ මියගොස් ඇත්තේ චින්තක අමරසූරිය නැමති 30 හැවිරිදි වියේ පසු වූ පේරාදෙණිය රෝහලේ වෛද්‍යවරයෙකි.
හාලිඇල පදිංචිව සිටි චින්තක කරාපිටිය වෛද්‍ය පීඨයෙන් උපාධිය ලබා බදුල්ල රෝහලේද සේවය කර ඇති අතර පසුව පේරාදෙණියට මාරුවී තිබේ. පසුගිය 2021 වසරේ පෙබරවාරී මස විවාහ දිවියට ඇතුළත්ව සිටි අයෙකු වන අතර ඔහුගේ බිරියද වෛද්‍යවරියකි..මියයන විට ඔවුනට දරුවෙකුද සිටි බව වාර්තාවේ.
ඔහුගේ මරණය නිව්මෝනියා තත්ත්වයක් සමඟ රුධිරයට විෂබීජයක් යාමෙන් ඇති වූ කම්පන තත්වයෙන් සිදුවූ බවට
පශ්චාත් මරණ පරීක්ෂණයේ දී අනාවරණය විය.
ඊයේ 14 උදෑසන ඔහු මියගිය පසුව හදිසි මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අතිරේක නාගරික හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ මහතා විසින් පවත්වන ලදී.
එහිදී හෙළිවූ පරිදි ඔහු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබා ඇති අතර සති කිහිපයකට පෙර ඉන්ෆ්ලුවන්සා රෝගය ද වැළඳී සිටි අයෙකි.
දින කිහිපයක් පෙට්‍රල් පෝළිම්වල ද රැඳී සිට ඇති වෛද්‍යවරයා තම කාරයේ තිබූ පෙට්‍රල් යතුරුපැදියට ගැනීම සඳහා බටයක් යොදා කටින් පෙට්‍රල් ඇද ඇති බව ද ඥාතීන් පවසා ඇත.
ඉන් පසු පෙනහැල්ල ආසාදනය වී රෝහල්ගත කර ඇති අතර පසුව නිව්මෝනියා තත්වයට පත්වූ ඔහු පේරාදෙණිය රෝහලට ඇතුලත්කර ඇත. අනතුරුව මහනුවර රෝහලට ඇතුළත් කර ඇති අතර එක්මෝ ප්‍රතිකාර සඳහා පසුගිය 11 වැනි දා කරාපිටිය රෝහලට මාරුකර එවා තිබිණි.
එක්මෝ ප්‍රතිකාරය පවා ලබාදුන්න ද ජීවිතය බේරාගැනීමට නොහැකිවිය.
වෛද්‍ය චින්තක අමරසූරියගේ මරණයට හේතුව වී ඇත්තේ පෙට්‍රල් බටයක් මඟින් පෙට්‍රල් ඇඳීමට යෑමේදී එහි වාෂ්ප පෙනහලු වලට වැදී නිව්මෝනියා තත්වයට පත්වීම නිසා බවට නිගමනය විය.
මියගිය වෛද්‍යවරයාගේ සිරුර සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය විශේෂඥ අධිකරණ වෛද්‍ය ජානකී වරුසාහැන්නදි මහත්මිය විසින් පවත්වන ලදී.
මුඛය භාවිත කර රථවාහනවල පෙට්‍රල් ඉවත් කිරීමට යද්දී ප්‍රවේශම් වන ලෙසත් පෙනහළුවලට හානි සිදුවිය හැකි බවත් කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාරච්චි පවසා තිබේ.
වෛද්‍යවරියක වූ චින්තකගේ බිරිඳ සංවේදී සටහනක් සැමියා පිළිබඳ ව තබා තිබුණි .
0 Comments