drug-money-land-nabbed

ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ නිරත ගෝලයන් වන අඹු සැම් යුවලක් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙත් බවට තහවුරු කරගෙන ඇති මොරටුව ප්‍රනාන්දු මාවතේ පිහිටි රුපියල් කෝටි දෙකකට අධික වටිනා ඉඩම් දෙකක් සහිත නිවාස දෙකක් පානදුර පළාත්බද මහාධිකරණ විනිසුරු කේ.බී.එල්. කුමාර මහතා විසින් තහනම් කිරිමෙන් පසුව ඊයේ (20) එය රජයට පවරා ගැනිණි. මෙම ඉඩම් දෙකක් සහිත නිවාස දෙක පානදුර පළාත් බද මහාධිකරණ විනිසුරු කේ.බී. එල්. කුමාර මහතා ඉකුත් ජනවාරි මාසයේ ක්‍රියාවට ලක් කර තිබිණ.



රජය පවරාගත් දේපළ මුදල් විශුද්ධිකරණ පනතේ ප්‍රතිග්‍රාහකයා ලෙස මොරටුව ප්‍රාදේශීය ලේකම් ඉෂිකා උඩවත්ත මහත්මියට වෙත පවරා තිබු අතර ඒ මහත්මිය අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් සමඟ ඊයේ එම ස්ථානවලට පැමිණ අදාළ දේපල 'රජය වෙත පවරා ගත් බව පොලිසිය පවසයි.  2020 වසරේ ජනවාරි 27 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දී මොරටුමුල්ල පොලිසිය විසින් ශාන්ත ප්‍රභාත් හා නිසංසලා සංජීවනි නමැති මෙම සැකකාර අඹුසැමි යුවළ හෙරොයින් ග්‍රෑම් 80 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග කියයි.  මෙම නඩුව තවමත් විභාග වන අතර සැකකාර අඹුසැමි යුවළගෙන් සැකකාරිය ඇප මත මුදාහැර ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම යුවළ සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් හා දේපළ විමර්ශන කොට්ඨාසය මගින් සිදුකළ විමර්ශනයේ දී ඔවුන් මත්ද්‍රව්‍ය ජාවාරමෙත් උපයාගත් ඉහත  ඉඩම් සහිත නිවාස දෙක, පවුම් 50ක රන්භණ්ඩ , ලොරි රථයක්, ත්‍රිරෝද රථයක් හා යතුරු පැදියක් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වී ඇති අතර එම දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය යටතේ විමර්ශන සිදුවන බවද පොලිසිය කියයි.

මොවුන් බාරයේ තිබු රන් පවුම් 50 ක දේපළ තහනම් කිරීමට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් හා පානදුර පළාත්බද මහාධිකරණ විසින් ජාතික ස්වර්ණාභරණ අධිකාරියෙන් තක්සේරු වාර්තාවත් කැඳවනු ලැබ ඇති බවද පොලිසිය සඳහන් කරයි. අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ, නීති විරෝධී වත්කම් හෝ දේපළ විමර්ශන කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි' ගීතාල් මහතාගේ උපදෙස් මත එහි ඒකක 3 හි ස්ථානාධිපති පොලිස් පරික්ෂක රොෂාන් උදයංග මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත් වූහ.


ඉන්දිකා රාමනායක