dullas-alahapperuma-who

ජනපති අපේක්ෂක ඩලස් දහම් කුමාර අලහප්පෙරුම මාතර දික්වැල්ලේදී උපත ලැබුවේ 1959 මැයි 14 දාය. ඔහුගේ වයස දැන් 63 කි. විශ්ව විද්‍යාල සමයේ සිට දේශපාලන ක්‍රියාකරුවෙකු හා මාධ්‍යවේදියෙකු වන ඩලස් දේශපාලනඥයෙක් බවට පත්වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග රජය සමයේය.
ඩලස්ගේ දෙමාපියන් දෙන්නාම ප්‍රාදේශීය පාසල්වල විදුහල්පතිවරුන් විය. පියා කරෝලිස් අලහප්පෙරුම වූ අතර මව ඇස්ලින් අලහප්පෙරුමයි.


මාතර ශාන්ත සර්වේෂස් විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඩලස් ද්විතීයික තෘතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ආනන්ද විද්‍යාලයේය.
පසුව රුහුණ විශ්ව විද්‍යාලයේ උපාධියක් හැදෑරූ ඔහු සරසවි සමයේ සිට ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු ලෙස කැපී පෙනුණි. ඔහු සමග සරසවියේ විප්ලවීය කලා සංගමයේ කටයුතු කළ පසුකලෙක ජනප්‍රිය ගායිකාවක හා වේදිකා නිළියකවූ ප්‍රදීපා ධර්මදාස සමග ඩලස්ගේ විවාහය සිදුවිය.
ඔවුන්ට මහීමා හා කෞෂික දරුවන් දෙදෙනෙකු සිටී.
ඩලස් සරසවි සමයේ සිට විප්ලවකාරී අදහස් පළ කළ පුවත්පත් වල ලේඛකයෙකු ලෙස කැපී පෙනිණි.යුක්තිය, හිරු ආදී විකල්ප පත්තර වලට ඔහු සම්බන්ධ විය. ඔහුගේ සමකාලීන පත්තර සගයන් අතර විමල් වීරවංශ, සුනිල් මාධව ප්‍රේමතිලක, රෝහිත භාෂණ ආදීන් විය.


ශ්‍රී ලනිප නව බලවේගයක් ලෙස 1994 පැමිණ වසර 17 ක එජාප රජය පෙරළා චන්ද්‍රිකා කුමාරතුංග බලයේ පිහිටුවීමේදී ඩලස්  සහාය දුන්නේය. කෙසේ වෙතත්  පසුකාලීනව ඔහු ශ්‍රීලනිප හවුල් ආණ්ඩුව ගැන කලකිරී කලක් දේශපාලනයෙන්ද ඉවත්ව සිටියේය. එකල ඔහු ඇමරිකාවේ පුරවැසිකම ලබාගෙන දේශපාලනයෙන් සමුගන්නා බවද ප්‍රකාශ කර තිබුණි.
 වසර එකහමාරක් පමණ ඇමරිකාවේ අයෝවා විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරූ නමුත් ඩලස් එම උපාධිය සම්පූර්ණ කළේ නැත.
ඔහු නැවත දේශපාලන කරළියට පිවිසෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මාතර දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙසිනි. ඔහු අමාත්‍ය ධූර ගණනාවක අත්දැකීම් ලබා ඇත. අවසන් වරට හිටපු ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍ය වරයා වූ ඩලස් අලහප්පෙරුම 2022 ජූලි මාසයේ පාර්ලිමේන්තුව තෝරන ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස අද ප්‍රකාශ කළේය.