fruit-vegetable-price-down

පාරිභෝගිකයන් නොමැතිවීමෙන් හා එළවළු, පලතුරු ලැබීම අඩුවීමෙන් පෑලියගොඩ මැනිං වෙළෙඳපොළ, දඹුල්ල, නාරාහේන්පිට, මීගොඩ ඇතුළු ආර්ථික මධ්‍යස්ථාන රැසක් ඊයේ (7) දිනයේ පාළු ස්වභාවයක් ගෙන තිබිණ.  භාණ්ඩ ලැබීම සහ භාණ්ඩ අලෙවිය යන දෙකම පහළ වැටීම හේතුවෙන් වෙළඳාම් කිරීම බොහෝ දුෂ්කර වී ඇතැයි සමස්ත ලංකා ඒකාබද්ධ ආර්ථික මධ්‍යස්ථාන සහ මැනිං වෙළෙඳ සංගමයේ භාණ්ඩාගාරික නිමල් අත්තනායක මහතා පැවසීය. ඉන්ධන අර්බුදයත් සමග ආර්ථික මධ්‍යස්ථාන පවත්වාගෙන යාම බොහෝ ගැටලු සහගත වී ඇතැයිද ඔහු සඳහන් කළේය. මේ හේතුවෙන් ඇතැම් ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳසල් බොහොමයක් වසා දමා තිබිණි.



එළවළු සහ පලතුරු මිල ගණන්ද වෙනදාට වඩා සාපේක්ෂව පහළ ගොස් ඇතැයි ද වාර්තා වේ. ඒ අනුව පෑලියගොඩ මැනිං වෙළෙඳපොලේ කැරට් කිලෝවක් රුපියල් 250කටද, බෝචි කිලෝවක් රුපියල් 300 කටද,ගෝවා කිලෝවක් රුපියල් 200කටද, වම්බටු කිලෝවක් රුපියල් 300කටද, ලීක්සි රුපියල් 150කටද, වට්ටක්කා රුපියල් 220 ක් අමු මිරිස් කිලෝවක් රුපියල් 500කටද, දෙහි කිලෝවක් රුපියල් 200 කටද හා තක්කාලි කිලෝවක් රුපියල් 150කටද අලෙවි වූ බව තොග මිල ගණන් යටතේ වෙළෙන්දෝ සඳහන් කළහ.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝවක් රුපියල් 320කටද, බෝංචි කිලෝවක් රුපියල් 360 කටද, ගෝවා කිලෝවක් රුපියල් 280කටද, වම්බටු කිලෝවක් රුපියල් 400කටද, වට්ටක්කා කිලෝවක් රුපියල් 200 කටද, අමු මිරිස් කිලෝවක් රුපියල් 800කටද, දෙහි කිලෝවක් රුපියල් 700 -කටද තක්කාලි කිලෝවක් රුපියල් 360 කටද, රට අල කිලෝව 240කටද ලංකා අල කිලෝව 420ක් බී ලූනු කිලෝවක් 200කටද අලෙවි වූ බව වෙළෙන්දෝ පැවැසූහ.

මේ අතර පෑලියගොඩ මාළු වෙළඳපොළේ තලපත් කිලෝව රුපියල් 1550ක්, බලයා කිලෝව රුපියල් 1000 ක්, සාලයා කිලෝව රුපියල් 800ක්, හුරුල්ලා කිලෝව රුපියල් 1000ක්, ලින්නා කිලෝව රුපියල් 950ක් වශයෙන් තොගමිල ගණන් යටතේ අලෙවි වූ බව එහි වෙළෙන්දෝ සඳහන් කළහ.


 -නිමල කොඩිතුවක්කු-