fuel-distribution-need

රටට ලැබෙන සීමිත ඉන්ධන ප්‍රමාණය බෙදාදීම සඳහා විධිමත් ලෙස ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් නොකළහොත් ඉදිරියේදී මෙරට කර්මාන්ත කඩාවැටී රට ආර්ථික වශයෙන් තව තවත් අර්බුදයකට ලක්වන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ සංගමය සඳහන් කරයි. සෞඛ්‍ය සේවා ඇතුළු රාජ්‍ය සේවා කිහිපයකට හා රාජ්‍ය සේවකයන්ට ඉන්ධන ලබාදීම සඳහා ප්‍රමුඛතා ලැයිස්තුවක් සකස් කර තිබෙන බවත්,

එහෙත් රටේ නිෂ්පාදන ක්‍රියාවලියට් සම්බන්ධ කිසිදු ව්‍යාපාරයක් අත්‍යවශ්‍ය සේවා යටතේ ඉන්ධන ලබානොදෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය. රටේ ප්‍රධාන ආහාරය බත් සහ  එළවළු වුවත්, ගොයම් කැපීමට අවශ්‍ය යන්ත්‍රවලට ප්‍රමුඛතා ලැයිස්තු යටතේ ඉන්ධන ලබා නොදෙන බවත්, අමාරුවෙන් ගොවියා විසින් නෙළා ගන්නා වී ටික මෝල්ලට රැගෙන යාමට  හා මෝල් මගින් නිෂ්පාදනය කරන සහල් ටික වෙළෙඳ පොළට රැගෙන යන වාහනවලට අවශ්‍ය ඉන්ධන ටික නිසි ලෙස නොමැති බවත් හෙතෙම පවසා සිටියි.



ගොවියා දුක් මහන්සි වී සකස් කරන එළවළු හා පලතුරු ටික වෙළෙඳ පොළට රැගෙන යාමට හා වෙළෙඳ පොළට පැමිණන එළවළු හා පලතුරු තොග සිල්ලර වෙළෙඳාමට රැගෙන යාමට ඉන්ධන නිසි ලෙස නොමැති බවද සභාපතිවරයා සඳහන් කළේය. ධීවර කර්මාන්තයේ නිරත පිරිස් වලට, බිත්තර හා මස් නිෂ්පාදකයන්ට හා පොල් පොල්තෙල් හා කුළුබඩු හා කිරී ආශ්‍රිත නිෂ්පාදන කටයුතු කරන පිරිස් වලට රසකැවිලි හා වෙනත් ආහාර වර්ග නිෂ්පාදකයන්ට තම නිෂ්පාදන  වෙළෙඳ පොළට රැගෙන යාමට නිසි ලෙස ඉන්ධන නොමැති බවද ඒ මහතා පවසා සිටියේය. රටේ ජනතාවගෙන් අති බහුතරයක් ප්‍රවාහන පහසුකම් සලසා ගන්නේ බස් රථ මගින් බවත්, එහෙත් පොදු ප්‍රවාහන සේවයට අවශ්‍ය ඉන්ධන තොග ලබාදීමටවත් රටතුල විධිමත් සැලසුමක් නොමැති බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

ඊට අතරව මැටි ආශ්‍රිත හා  ප්ලාස්ටික්, පොලීතීන් හා ඇලුමිනියම් සහ නිමි ඇඳුම් ආශ්‍රිත නිෂ්පාදන කටයුතු කරන පිලට් තම නිෂ්පාදන වෙළෙඳ පොළට රැගෙන යාමට නොහැකි වී. තිබෙන බවත්,

මේ නිසා සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයක් මේ වනවිට නිරිමාණය වෙමින් තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.මේ නිසා ඉන්ධන ලබාදීමට ටෝකන් හෝ ඇප් හඳුන්වාදීමට පෙර රටට ලැබෙන ඉන්ධන තොග රටේ. අවශ්‍යතාව අනුව බෙදාදීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත්, පොදු ප්‍රවාහන සේවය විධිමත් කළහොත් ප්‍රවාහන ගැටලුව නැති වී යන බවත් සභාපතිවරයා පවසා සිටියේය. මීට අමතරව කර්මාන්තවලට අවශ්‍ය ඉන්ධන ලබාදීමට කටයුතු කළහොත් රටේ පවතින ආහාර වර්ගවල හිඟයට විසඳුම් ලැබෙන බවත්, රැකියා ගැටලුවට විසඳුම් ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.


(ඉන්දික හේවාවිතාරණ)